පාස්කු නඩුව තව මාසයකින් ඉවරයි කියලා ජනාධිපති කරේ බරපතල ප්‍රකාශයක් – උදය ගම්මන්පිල කියයි

ජනාධිපතිවරයා නීතිඥ සංගමය සමඟ පැවති සාකච්ඡාවකදී අධිකරණයේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය අතිශය බරපතළ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ජනාධිපතිවරයා අධිකරණයේ පුරප්පාඩු සම්බන්ධයෙන් අදහස් දක්වමින්, විශේෂයෙන් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු පිරවීම ප්‍රමාද වී ඇත්තේ මහාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව විභාග කරන බැවින් බව සඳහන් කර ඇති බවයි ගම්මන්පිල මහතා පවසන්නේ.

එම නඩුව තවත් මාසයකින් පමණ අවසන් වන අතර, ඉන් අනතුරුව අධිකරණයේ පවතින පුරප්පාඩු පිරවිය හැකි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කරනවා.

කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය අතිශය භයානක ප්‍රකාශයක් බව ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා. ඔහු ප්‍රශ්න කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව තවත් මාසයකින් අවසන් වන බවට ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ හැක්කේ කෙසේද යන්නයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ඉදිරිපත් කිරීම මේ වන විට අවසන් වී තිබුණද, නඩුව අවසන් වීමට තවත් වැදගත් නීතිමය පියවර කිහිපයක් සම්පූර්ණ කළ යුතු බව ඔහු සඳහන් කරනවා.

පළමුව, පැමිණිල්ල විසින් නඩුව නිසි ලෙස ඔප්පු කර නොමැති බැවින් චූදිතයන් නිදහස් කරන ලෙසට චූදිත පාර්ශ්වයේ නීතිඥවරුන්ට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට අවස්ථාව පවතින බවත්, එම ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළහොත් චූදිතයන්ට තමන් වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

මෙම නඩුවේ චූදිතයන් 24 දෙනෙකු සිටින බැවින්, ඔවුන් එක් අයෙකු හෝ දෙදෙනෙකු බැගින් සාක්ෂිකරුවන් ඉදිරිපත් කළද, එම සාක්ෂි විභාග කිරීම සඳහා තවත් සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බවද ඔහු පවසනවා.

එම කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව නඩු තීන්දුව සකස් කළ යුතු බවත්, ඉතා කෙටි කාලයක් තුළ එය සිදුකළද අවම වශයෙන් තවත් මාසයක පමණ කාලයක් ඒ සඳහා ගතවිය හැකි බවත් ගම්මන්පිල මහතා සඳහන් කරනවා.

ඒ අනුව නඩුවේ ඉදිරි නීතිමය ක්‍රියාවලිය සැලකිල්ලට ගත් විට, එය තවත් මාසයකින් අවසන් වන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුවන බව උදය ගම්මන්පිල මහතා අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *