ශ්‍රී ලංකාව සතු මුහුදු සීමාවේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය හා නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර බලශක්ති සමාගම් වෙත අවස්ථාව සලසා දෙමින් ‘Licensing Round 2026’ බලපත්‍ර ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය (PDASL) පියවර ගෙන තිබේ.
මෙම නිල දියත් කිරීම අගෝස්තු 25 වන අඟහරුවාදා පෙරවරු 10:00 ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී සිදු කිරීමට නියමිතය.
මේ වන විට සිදුකර ඇති ගවේෂණ මගින් ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු තීරයේ වාණිජමය වශයෙන් ඵලදායී ස්වාභාවික වායු නිධි පවතින බව තහවුරු වී ඇති බව අධිකාරිය පෙන්වා දෙයි. මෙම ස්වභාවික සම්පත් කඩිනමින් සංවර්ධනය කිරීම හරහා මෙරට බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට මෙන්ම කාර්මික අංශයේ දැවැන්ත වර්ධනයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බව ද සඳහන් වේ.