මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන “කෙහෙල්බද්දර පද්මේ” නමැත්තාගෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී නිළියන් සහ නිරූපිකාවන් 7 දෙනෙකුගේ තොරතුරු මෙන්ම දේශපාලනඥයන් 9 දෙනෙකුගේ ඡායාරූප සහ දුරකථන සංවාද සටහන් හමුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
සැකකරුගෙන් සොයාගත් ජංගම දුරකථන 8ක මකා දමා තිබූ දත්ත යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව දුරකථන ඇමතුම් 8,841ක විස්තර, ඡායාරූප 326,000කට වැඩි ප්‍රමාණයක්, හඬ පට 1,101ක් සහ වීඩියෝ දර්ශන 5,039ක් සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීහු සඳහන් කරති.
මීට අමතරව ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනෙකු, බන්ධනාගාර නිලධාරීන් 13 දෙනෙකුගේ දුරකථන අංක, විවිධ අපරාධවලට සම්බන්ධ බව කියන පුද්ගලයන්ගේ විදේශ ගමන් බලපත්‍ර 19ක ඡායාරූප සහ බැංකු ගිණුම් 17ක් පිළිබඳ තොරතුරු ද අනාවරණය වී තිබේ.
2021 මැයි මස ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඉන්දුනීසියාව, රුසියාව, ජපානය, ඩුබායි ඇතුළු රටවල් 13ක සංචාරය කර තිබූ සැකකරු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය ඔහුව සැප්තැම්බර් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙලෙස නම් හෙළිවීම පමණක්ම අදාළ පුද්ගලයන් වරදක් කර ඇති බවට තහවුරු කිරීමක් නොවන බව ද විමර්ශකයෝ පෙන්වා දෙති.