මන්නාරම් ද්‍රෝණියේ සිට පානදුර දක්වා වූ මුහුදු තීරයේ විශාල තෙල් සහ ගෑස් නිධි පවතින බවත්, ඉන් ඉතා උසස් තත්ත්වයේ ගෑස් නිධි දෙකක් දැනටමත් හඳුනාගෙන ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.
ලෝක මට්ටමින් ගවේෂණ ළිං 20-25ක් කැණීමේදී සාර්ථක වන්නේ ළිං 2ක් හෝ 3ක් වුවද, මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කළ ළිං 4න් 2කම සාර්ථක ලෙස ගෑස් නිධි හමුවීම මගින් මෙරට සාර්ථකත්වය 50%ක ඉහළ මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙයි. මුහුදු පතුලේ සිට මීටර් 3,000ක් පමණ ගැඹුරින් වසර මිලියන ගණනක් පැරණි ලාවා තට්ටුවලට යටවී ඇති මෙම සම්පතෙන් රටේ බලශක්ති අර්බුදයට ස්ථිර විසඳුමක් ලබාගත හැකි බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් 2001 සිට ‘Petroleum Geology’ විෂය ඔස්සේ පුහුණු කළ දේශීය විද්‍යාඥයන්ගේ තාක්ෂණික දැනුම මේ සඳහා භාවිත කළ හැකි බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.