මේ දිනවල වැඩියෙන් කතාබහට ලක් වන චරිතයක් බවට යකාවෙල පරම්පරාව නියෝජනය කරමින් පෙරහරට සම්බන්ධ වන පිහල්ලදෙණිය වියන්නලාගේගෙදර ජේමිස් කලාකරුවා පත්ව තිබේ. මහනුවර ඇසළ පෙරහරේ අවසන් උත්සවයේදී පෙරහරට එක්වූ කලාකරුවන්ට ත්‍යාග පිරිනැමේදී සිදුවූ සුවිශේෂී සිද්ධියක් නිසා මේ වන විට මේ කලාකරුවා ගැන මුළු රටම කතා කරන තැනට පත්ව ඇත.
එදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් තමන්ට හිමි ත්‍යාග ලබාගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයා සමඟ කළ පිළිසඳර ගැන ඒ මහතා අදහස් දැක්වූයේ මෙලෙසයි.

“මම අවුරුදු 69ක් තිස්සේ මහනුවර ඇසළ පෙරහරට කතරගම දේවාලය නියෝජනය කරමින් සහභාගි වෙනවා. මේ පාරත් හොරණෑව වාදනය කරමින් පෙරහර දින 10ම ගමන් කළා. විශිෂ්ටතම හොරණෑ වාදන ශිල්පියාට හිමි සම්මානය මට හිමි වෙලා තියෙනවා කියලා ජනාධිපති මන්දිරයට එන්න කිව්වා. මීට කලින් ජනාධිපතිවරු තුන් දෙනෙක්ගෙන් මම සම්මාන අරන් තියෙනවා. වෙනදා වගේම මගේ නම කිව්වම මම සම්මානය ගන්න ගියා. රටේ ජනාධිපතිතුමා නිසා මම ළඟටම නොගිහින් ඈතින් ඉඳන් වෙනදා වගේ සම්මානය ගන්න යනකොට ජනාධිපතිතුමා මගේ අතින් අල්ලලා ළඟට ගත්තා. මට හිතාගන්න බැරි වුණා මොකක්ද වෙන්නේ කියලා. මගේ අත්දෙක අල්ලගෙන කනට කරලා එතුමා ඇහුවා දැන් වයස කීයද කියලා. මම 83යි කිව්වා. පෙරහරේ දැන් අවුරුදු 69ක් යනවා කියලත් මම කිව්වා. මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තව ගොඩක් කල් පෙරහරට සහභාගි වෙන්න ශක්තිය ලැබෙන්න කියලා එතුමා ආශීර්වාද කළා.
චන්ද්‍රිකා මැතිනිය, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරුන්ගෙනුත් මම මීට කලින් සම්මාන ගනණාවක් අරන් තියෙනවා. ඒ කවුරුවත් ජනාධිපතිවරු මාත් එක්ක වචනයක්වත් කතා කරලා නැහැ. සම්මාන දෙන වෙලාවේ එහෙම කතා කරන්න පුළුවන්කමකුත් නැහැනේ. සම්මාන අරන් ඉක්මනට ඊළඟ කෙනාට ඉඩ දෙන්න ඕනෑ. අනුර කුමාර ජනාධිපතිතුමා හරිම ළෙන්ගතුයි. එතුමා කතා කරනකොට මට මගේ පුතෙක් වගේ දැනුනේ. මම හිමින් කියපු හැම වචනයක්ම හොඳින් අහගෙන ඉඳලා තමයි මට සුබ පැතුවේ.
වසර ගණනාවක් තිස්සේ මහනුවර කතරගම දේවාලයේ තේවා කටයුතු සිදු කරනු ලබන්නේ යකාවෙල පරම්පරාවේ පී.වී. ජේමිස් කලාකරුවා ඇතුළු ඔහුගේ පවුෙල් උදවියයි. මෙරට සිටින අතිදක්ෂ තැම්මැට්ටන් ශිල්පියකු වන පී.වී. විමලසිරි (දළුකේ) ජේමිස් කලාකරුවාගේ සහෝදරයායි.
මගේ සීයා සිරිමලා ගුරුන්නාන්සේ තමයි මාව කතරගම දේවාලයේ තේවා කටයුතුවලට මුලින්ම කැඳවාගෙන ආවේ. එතකොට මට අවුරුදු 12ක් 13ක් ඇති. මුලින්ම පෙරහරට සම්බන්ධ වුණේ තාලම්පට වාදනය කරමින්. අවුරුදු 17 දී විතර තාත්තා මට තම්මැට්ටමක් හදලා දීලා එක ගහන්න පුරුදු කළා. පස්සේ සීයා හොඳ දවුලක් හදලා දුන්නා. දවුල්, තම්මැට්ටම් ගහන්න පුරුදු වුණාට පස්සේ දේවාලයේ තේවා කටයුතුවලට සම්බන්ධ වුණා.
මට පුතාලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ අය විවාහකයි. පුතාලගේ දරුවෝ දෙන්නත් දැන් පෙරහරට සම්බන්ධ වෙනවා. මේ පාර මගේ පුතාලා තුන් දෙනයි මුනුබුරෝ දෙන්නයි මාත් එක්ක පෙරහරේ ගියා. සුජීව, සමන්ත කියන පුතාලා දෙන්නා තේවාවටත් සම්බන්ධ වෙනවා. පොඩි පුතා ප්‍රේමචන්ද්‍ර දැන් නාවික හමුදාවේ සේවය කරනවා. මගේ බිරිය ඩී.ජී. රොසලින් අවුරුදු 04කට කලින් මියගියා.
අපි පෙරහරට සම්බන්ධ වෙන්නේ හොඳට පේවෙලා. මේක බුදුන් හා දෙවි හාමුදුරුවන් වෙනුවෙන් කරන පූජෝපහාරයක්. අවුරුදු 83ක් වෙලත් මම පෙරහරේ දින 10ම ගමන් කරනවා. මුලින් මම දවුල වාදනය කරමින් තමයි ගියේ. දැන් වයස නිසා හොරණෑව වාදනය කරනවා. මහනුවර කතරගම දේවාලයේ තේවා කටයුතු භාරව කටයුතු කරන ජේමිස් කලාකරුවා ඉතා කැපවීමෙන් හා වගකීමෙන් දෙවියන් උදෙසා කෙරෙන චාරිත්‍ර ඉටුකරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා පැවසුවේය. ජේමිස් කලාකරුවෝ අවසන් වශයෙන් පැවසුවේ දෙපා වාරු පවතින තෙක් පෙරහර මංගල්ල්‍යයට සහභාගි වන බවයි.