හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනියගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකය සඳහා මුල්ගල තැබීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ සිදුකෙරිණි.
වසරක් ඇතුළත ඉදිකිරීම් අවසන් කර රෝගී ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමට නියමිත මෙම සිව්මහල් ගොඩනැගිල්ලේ පළමු මහල පිළිකා රෝගී සායන සඳහාත්, දෙවන මහල කීමෝතෙරපි ප්‍රතිකාර ඒකකයක් සඳහාත් වෙන් කෙරෙන අතර, තෙවන සහ සිව්වන මහල් ඇඳන් 24 බැගින් සහිත නේවාසික ප්‍රතිකාර වාට්ටු දෙකකින් සමන්විත වේ.
මෙතෙක් කළුතර ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ස්ථාන තුනක පවත්වාගෙන ගිය පිළිකා ප්‍රතිකාර සේවාවන් නව ඒකකය ස්ථාපිත කිරීමත් සමඟ එකම වහලක් යටට ගෙන ඒමට හැකි වන අතර, එමඟින් කළුතර දිස්ත්‍රික්කය ඇතුළු අවට ප්‍රදේශවල පිළිකා රෝගීන්ට වඩාත් කාර්යක්ෂම, පහසු සහ විධිමත් ප්‍රතිකාර සේවාවක් ලබාගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මුල්ගල තැබීමෙන් අනතුරුව අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙවැනි උදාර මානුෂීය කාර්යයක් වෙනුවෙන් ඉදිරිපත් වෙමින් “ප්‍රාර්ථනා පියස” පිළිකා ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සඳහා පූර්ණ ධන පරිත්‍යාගයෙන් දායක වූ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා සහ එම මැතිනිය ඇතුළු සියලු දෙනා වෙත සිය කෘතඥතාව පළ කළේය.
කළුතර ශික්ෂණ රෝහලේ අද ආරම්භ කරනු ලබන්නේ සිව්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කාර්යයක් පමණක් නොව, වර්තමානයේ රට මුහුණ දෙමින් සිටින සෞඛ්‍ය අභියෝගයකට ප්‍රතිචාර දැක්වීමේ වැදගත් පියවරක් බවද අමාත්‍යවරයා පැවසීය.