අභාවප්‍රාප්ත ආචාර්ය නන්දා මාලිනී ගායනා කළ, මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කළ ගීත වාණිජ අරමුණින් නැවත ගායනා කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම සහ ප්‍රචාරය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා.
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ උපදෙස් මත ‘කැපිටල් සිටි ලෝ’ නීතිඥ සමාගම නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්.
ඒ අනුව එම ගීත ‘කවර් වර්ෂන්’ ලෙස නැවත පටිගත කිරීම මෙන්ම උපහාර හෝ අනුස්මරණ ප්‍රසංගවලදී වාණිජ අරමුණින් ගායනා කිරීමත් තහනම් වනවා.
එමෙන්ම වාණිජ අරමුණින් එම ගීත මහජනතාව වෙත විකාශය කිරීම හෝ රචකයාගේ සදාචාරාත්මක අයිතීන් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිත කිරීමත් නීති විරෝධී බව එම නිවේදනයේ සඳහන්.
මෙම ගීත සම්බන්ධ බුද්ධිමය සහ වාණිජ අයිතිය මීට පෙර අධිකරණ මගින් තහවුරු කර ඇති බැවින්, එම අයිතීන් උල්ලංඝනය කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව සිවිල් සහ අපරාධ නඩු පැවරීමට කටයුතු කරන බව නීතිඥ සමාගම පවසනවා.
කෙසේ වෙතත්, පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල වාණිජ නොවන අධ්‍යාපනික කටයුතු සඳහා ගායනා කිරීම මෙන්ම ගුවන්විදුලි හා රූපවාහිනී නාලිකාවල ආධුනික ගායනා තරග සඳහා මෙම තහනම අදාළ නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.