ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම.) මූල්‍යමය වශයෙන් ශක්තිමත් සහ කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රතිඵල මේ වන විට පැහැදිලිව දක්නට ලැබෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, දිවයින පුරා පවතින ලංගම ඩිපෝ 107 අතරින් මීට වසර දෙකකට පෙර ඩිපෝ 63ක සේවක වැටුප් ගෙවීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් මුදල් ලබාදීමට සිදුව තිබූ බවයි.
කෙසේ වෙතත්, වත්මන් කළමනාකරණ ක්‍රමවේද, විධිමත් මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම පරිපාලන වැඩපිළිවෙළ හේතුවෙන් එලෙස ප්‍රධාන කාර්යාලයෙන් මූල්‍ය ආධාර අවශ්‍ය වූ ඩිපෝ සංඛ්‍යාව මේ වන විට 13ක් දක්වා අඩු කිරීමට හැකිව ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව ඩිපෝ 50ක් පමණ තමන් උපයන මෙහෙයුම් ආදායමෙන් සේවක වැටුප් ගෙවීමට හැකි මට්ටමකට පත්ව ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මූල්‍යමය ස්ථාවරත්වයට අමතරව මගී ජනතාවට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.
පැරණි බස් රථ වෙනුවට නවීන Metro බස් රථ ධාවනයට එක් කිරීම හරහා මගී ජනතාවට වඩාත් පිරිසිදු, සුවපහසු සහ ගුණාත්මක ගමන් අත්දැකීමක් ලබාදීමට පියවර ගෙන ඇති බවද ඔහු පැවසීය.
“පොදු ප්‍රවාහන සේවය කියන්නේ බස් රථ ටිකක් පාරේ ධාවනය කිරීම පමණක් නොවෙයි. කුඩා දරුවෙකු ආදරයෙන් සහ වගකීමෙන් උස් මහත් කරන ආකාරයටම, අපේ පොදු ප්‍රවාහන පද්ධතියත් සෙනෙහසින්, වගකීමෙන් සහ විද්‍යාත්මක සැලසුම් මත ඉදිරියට ගෙන යා යුතුයි,” යන අදහසද නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කළේය.
ඉදිරියේදී ලංගම සේවාව තවදුරටත් නවීකරණය කරමින් විද්‍යුත් බස් රථ හඳුන්වාදීම, E-Ticketing ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සහ GPS තාක්ෂණය ඔස්සේ බස් රථවල ගමන් තොරතුරු හා පැමිණෙන වේලාවන් මගීන්ට දැනගැනීමට හැකි ඩිජිටල් යෙදවුම් හඳුන්වාදීම සඳහාද අවධානය යොමු කර ඇති බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි ප්‍රතිසංස්කරණ හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මූල්‍යමය වශයෙන් ශක්තිමත් කරමින්, ජනතාවට වඩාත් නවීන, කාර්යක්ෂම සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම රජයේ අරමුණ බවයි.