සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් දරුවන් සසුනට පූජා කළ, දැනට ස්ථිර නිවෙසක් නැති මවුපියන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘යතිවර මාපිය නිවහන’ ජාතික වැඩසටහන ලබන 19දා පස්වරු 1.30ට බදුල්ලෙන් ආරම්භ වේ.
බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (15) පැවසුවේ මේ ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව මේ සඳහා සුදුසුකම් ලබන මවුපියන්ට නිවෙස් හිමිකම් ප්‍රදානය කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන බවත්, මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන එක් නිවෙසක වටිනාකම රුපියල් ලක්ෂ 15ක් බවත් ඇමැතිවරයා කීවේය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය ඒකාබද්ධව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, පළමු වටයේදී ලැබී ඇති අයදුම්පත් අතරින් නිවාස 270ක් ඉදිකිරීමට නියමිතය. ඉදිරියේදී සමස්ත ව්‍යාපෘතිය යටතේ නිවාස 1000ක් ඉදිකිරීමට රජය අපේක්ෂා කරන බව ද හෙතෙම කීවේය. මෙම ජාතික උත්සවය සඳහා අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වෙති.