24වනදා FCID එන්න තිබියදි ශිරන්ති රාජපක්ෂ රටින් පිට වෙයි

ලබන සැප්තැම්බර් 24 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් ලැබී තිබියදීම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම විදෙස් ගතව ඇති බව වාර්තා වේ.

ජාතික ඉතුරුම් බැංකුව (NSB) මගින් “සිරිලිය සවිය” පදනමේ ගිණුමට පරිත්‍යාගයක් ලෙස බැංකුගත කරන ලද රුපියල් මිලියන 10ක මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මෙන්ම, හිටපු ක්‍රීඩා අමාත්‍යාංශය මගින් සුඛෝපභෝගී බස් රථ මිලදී ගැනීමේදී සිදු වූ බවට චෝදනා ලද මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ද ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට FCID අංශය කටයුතු කරමින් සිටී.

මෙම විමර්ශනවලට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ “සිරිලිය” පදනම ද කිට්ටුවෙන් සම්බන්ධ බව අනාවරණය වී ඇති අතර, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු තවත් නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම විමර්ශනයට සම්බන්ධ බව වාර්තා වේ. අපරාධ චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇති බව ද සඳහන් වේ.

මේ අතර, විදෙස් ගතවීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලෙන් හෝ පොදුජන පෙරමුණෙන් තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, විමර්ශන කටයුතුවලින් ගැලවීමට ගත් උත්සාහයක් දැයි යන්න පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි විවාදයක් ඇතිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *