නාමල් රාජපක්ෂ සහ එයාර් බස් සමාගම අතර සිදු වූ ඊමේල් පණිවිඩ සොයාගත් බව නිතීපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියට අදාළව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයක සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත්තේ.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී, බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර සමඟ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ”ස්වාමීනී… ශ්‍රීලංකන් ගුවන් සමාගමට අදාළව එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක (යුරෝ මිලියන 1.5 ක) අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කළා. දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම ඒකාබද්ධව සිදු කරනු ලබනවා. මෙම සිද්ධියේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, ඔහු මේ වන විට එම අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

මෙම අධිකරණයේ තිබෙන පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වන චෝදනා සම්බන්ධයෙන්. අදාළ එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමයි මෙම පැමිණිල්ල මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ. මෙම නඩුකරයේ හතරවන සැකකරු ලෙස නාමල් රාජපක්ෂ නම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා ඔබතුමාගේ අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ඔහු මෙම නඩු කටයුත්තේ හතරවන සැකකරු ලෙස නම් කර තිබෙනවා. පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට කළ නියෝගයකට අනුව ඔහු අද දින මෙම අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.

අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, “ස්වාමීනී… මෙම එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් සිංගප්පූරුවේ තිබෙන, මෙහි දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක නැමැත්තියගේ ‘බිස් සොලියුෂන්’ නැමැති සමාගමේ බැංකු ගිණුමට ලැබෙනවා. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන එකක් මේ වන විට මියගොස් සිටින කපිල චන්ද්‍රසේනගේ ඕස්ට්‍රේලියාවේ තිබෙන කොමන්වෙල්ත් බැංකුවට යොමු කර තිබෙනවා. තවත් රුපියල් මිලියන 25 ක් සිංගප්පූරුවේ තිබෙන SL Agro නැමැති සමාගමට යොමු වී තිබෙනවා. පසුව එම සමාගමෙන් අදාළ මුදල මෙම නඩුවේ තවත් සැකකරුවකු වන ශමින්ද්‍ර රාජපක්ෂ නැමැත්තාගේ ගිණුමට බැර වී තිබෙනවා. ඉන්පසුව ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ‘බිස් සොලියුෂන්’ නැමැති සමාගමේ ගිණුමෙන් තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ අටක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නැමැත්තාට අයත් ‘සේවර් විෂන්’ නැමැති සමාගමේ ගිණුමට බැර වී තිබෙනවා. පසුව එම මුදල, එනම් රුපියල් මිලියන සියයක්, සැකකාර නාමල් රාජපක්ෂට ලබා දුන් බවට නිමල් පෙරේරා විසින් අල්ලස් කොමිසමට ලබා දුන් ප්‍රකාශයකින් හා දිවුරුම් ප්‍රකාශයකින් සඳහන් කර තිබෙනවා.” යනුවෙන් පැවසුවා.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, ”මෙය අන්‍යෝන්‍ය සහයෝගීතා සම්මුතිය යටතේ ඇමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව වැනි රාජ්‍යවල පිහිටි විමර්ශන ආයතනවලින් සහය ලබාගෙන සිදු කරන විමර්ශනයක්. මෙම අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් එයාර්බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නා. වෝහාරික විගණන වාර්තා ලබා දුන්නා. එම වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවුඩ පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු හා එයාර්බස් සමාගමේ නිලධාරීන් අතර සම්බන්ධතා පැවැති ආකාරය මනාව පැහැදිලි වෙනවා.” යනුවෙන් කියා සිටියා.

සැකකාර නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර, ”ස්වාමීනී… මෙම සිද්ධියට අදාළව ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින නිමල් පෙරේරා නැමැත්තෙකු ප්‍රකාශ ලබා දී තිබෙනවා. ඔහු තමන්ට එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් ඕස්ට්‍රේලියාවට පලා ගිය බවයි ප්‍රකාශ කර තිබෙන්නේ. තර්ජන හේතුවෙන් තමන්ට ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි බවත් නිමල් පෙරේරා සඳහන් කර තිබෙනවා. මේ නඩුකරයේ පළමු වන සැකකරු වන කපිල චන්ද්‍රසේන මේ වන විට මියගොස් තිබෙනවා. ඔහුගේ මරණය සියදිවි නසා ගැනීමක් ද, එහෙමත් නැත්නම් මිනීමැරුමක් ද කියලා තවමත් දන්නේ නැහැ.

දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායකත් මේ වන විට ඕස්ට්‍රේලියාවට පලා ගිහින්. ඇයව ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ නැමැත්තාත් ඇමෙරිකාවට පලා ගොස් තිබෙනවා. ඔහු සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා. එම වරෙන්තුව අභියෝගයට ලක් කරමින් ඔහු මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට ඇප නියම කළහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවෙන්න පුළුවන්. මෙම විමර්ශනවලට අදාළ ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙම සැකකරුට අදාළ විමර්ශන අවසන් කර කඩිනමින් චෝදනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා,” යැයි පවසමින් ඇප ඉල්ලීමට විරුද්ධ වන බව අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු ඉදිරිපත් කළා.

”ස්වාමීනී… පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ චෝදනා සියල්ල මා ප්‍රතික්ෂේප කරනවා. මේ අවස්ථාවේදී අදාළ වන්නේ ඇප පනතයි. ඇප පනතේ කොතැනකවත් සඳහන් කර නැහැ විරුද්ධ පක්ෂයේ දේශපාලකයින්ව ඕන ඕන වෙලාවට රිමාන්ඩ් කරන්න පුළුවන් කියලා. ඇපදීම තමයි අපේ රටේ නීතිය. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ජිනීවා සමුළුව වගේ අවස්ථාවක තමයි ඒ ගැන කතා කරන්නේ. කෙසේ වෙතත් මගේ සේවාදායකයා දේශපාලකයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනය කරන තැනැත්තෙක්. කිසිදු අවස්ථාවක ඔහු ශ්‍රී ලංකාවෙන් පලා යයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ වගේම ඔහු අධිකරණය මගහැර යන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සාක්ෂිකරුවන්ට බලපෑම් කළා කියලා කරුණු ඉදිරිපත් වෙලත් නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය මේ අවස්ථාවේදී ඔහුට අදාළ වෙනවා. නිමල් පෙරේරා නැමැත්තාගේ ගිණුමකට මුදල් ලැබී තිබෙනවා. නිමල් පෙරේරාට කියන්න ලේසිම දේ තමයි එම මුදල මෙම සැකකරුට ලබා දුන් බව ප්‍රකාශ කරන එක.” යනුවෙන් සඳහන් කරමින් මෙම සැකකරු ඇප මත මුදා හරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

එතෙක් සැකකාර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *