ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ලැබුණු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක මුදලක් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බව ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා ප්‍රකාශයකින් සහ දිවුරුම් ප්‍රකාශයකින් තහවුරු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධ මුදල් විශුද්ධිකරණ චෝදනා පිළිබඳ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කළා.
ඔහු අධිකරණයට සඳහන් කර ඇත්තේ එයාර්බස් ගනුදෙනුවට අදාළව ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් සිංගප්පූරුවේ පිහිටි ‘BIZ Solutions’ සමාගමේ ගිණුමකට ලැබී ඇති බවයි.
එම මුදලින් තවත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් ඕස්ට්‍රේලියාවේ පදිංචි නිමල් පෙරේරා මහතාට අයත් ‘Sabre Vision’ සමාගමේ ගිණුමකට බැර වී ඇති බවත්, පසුව එම මුදලට එවකට සමාන වූ රුපියල් මිලියන 100ක මුදල නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවට නිමල් පෙරේරා මහතා ප්‍රකාශ කර ඇති බවත් ජනක බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් ඕස්ට්‍රේලියාවට ගොස් නිමල් පෙරේරා මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මේ අතර, අදාළ විමර්ශනය සඳහා ඇමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව ඇතුළු රටවල විමර්ශන ආයතනවල සහාය ලබාගෙන ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
එයාර්බස් සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රකාශ ලබාදී ඇති අතර, වෝහාරික විගණන වාර්තාද විමර්ශන අංශ වෙත ලබාදී ඇති බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
එම වාර්තාවල අන්තර්ගත ඊමේල් පණිවිඩ පරීක්ෂා කිරීමේදී නාමල් රාජපක්ෂ මහතා සහ එයාර්බස් සමාගමේ නිලධාරීන් අතර සම්බන්ධතා පැවති ආකාරය පැහැදිලි වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයේදී මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, නිමල් පෙරේරා මහතාගේ ප්‍රකාශය මත පමණක් මුදල් ලබාදුන් බවට චෝදනා එල්ල කර ඇති බවත්, එය සනාථ කිරීමට ප්‍රමාණවත් භෞතික සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කර තිබෙනවා.
නාමල් රාජපක්ෂ මහතා මෙම නඩුවේ සිව්වැනි සැකකරු ලෙස නම් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ විමර්ශන ක්‍රියාත්මක වන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.