වත්මන් ආණ්ඩුව පාස්කු වින්දිතයන්ට සැබෑ සාධාරණය ඉෂ්ට කිරීමට ඇප කැප වී කටයුතු කරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
බියගම ප්‍රදේශයේ අද (19) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
හිටපු හමුදාපතිවරයා සඳහන් කළේ රාජපක්ෂ රෙජිමය අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගෙන ආ යුතු බවයි.
ජාතික ජන බලවේගය අවංකවම රටට මෙන්ම ජනතාවට සේවය කිරීමට ගන්නා උත්සාහය අගය කළ යුතු බවට ෆොන්සේකා මහතා කියා සිටියා.
ඔහු අවධාරණය කළේ තමන් රාජපක්ෂ පවුලට එරෙහිව කටයුතු කළේ ඔවුන්ගේ දූෂිත,ත්‍රාඩ ක්‍රියාකලාපය නිසා බවයි.
යම් අයෙකුට මේ රට විනාශ කිරීමට අවැසි නම් 2029 වර්ෂයේ නාමල් රාජපක්ෂව රටේ ජනාධිපතිවරයා බවට පත්කිරීමෙන් එය කළ හැකි යැයි යනුවෙන් තමන් විශ්වාස කරන බව ෆීල්ඩ් මාර්ෂල්වරයා පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව නිවැරදි මාවතේ ගමන් කරමින් පවතින බවයි.
“ අනිවාරෙන්ම මේ ආණ්ඩුව උත්සහයක් දරනවා පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කරන්න. සමහර අයට මේ වෙලාවේ චෝදනා එල්ලවෙලා තියෙනවා. අපිත් යම් යම් අයට ඇඟිල්ල දික් කරා. ඒ පුද්ගලයින්ටම ඇඟිල්ල නැවත දික්වෙලා තියෙනවා.
මම හිතනවා අපිට ඉතා කඩිනමින් ඒකේ ප්‍රතිඵල දකින්න පුළුවන් වෙයි කියලා. තාත්තලා, බාප්පලා, අප්පොච්චිලා, බෑනලා ඒ සංහතියම හොරු. ඒවා දැන් එලියට ඇවිල්ලා තියෙනවා. අපි හුඟක් ඉස්සර ඉඳන් ඒගොල්ලොත් එක්ක හැප්පුණේ. ඒගොල්ලොන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව තමයි.
මේ රජය ඒ වෙනුවෙන් උනන්දුවක් අරගෙන ජනතාව, රටට සාධාරණය ඉෂ්ට කරන්න උත්සහ ගැනීම ගැන අපි අගයන්න ඕනි. රාජපක්ෂලාගේ පරම්පරාවම අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගෙනියන්න ඕනි. මේ රටේ ඉතුරු ටිකත් ඉවර කරලා මේ රටේ මලගම සනිටුහන් කරන්න ඕනි නම් 29 එයාව ගෙනැල්ලා රට බාර දෙන්න ඕනි. මම හිතන්නේ නෑ මේ රටේ ජීවත්වෙන කිසිම කෙනෙකුට ඒ මෝඩ වැඩේ කරන්න අවශ්‍යතාව තියෙනවයි කියලා. එයාට යා යුතු මාර්ගය තමයි දැන් විවෘත වෙමින් තියෙන්නේ.
ආණ්ඩුව අනිවාර්යයෙන්ම යන මාර්ගය හරි. තිබුණ රජයවල් ආණ්ඩු මේ රටට කරපු විනාශය ජනතාව දකින්න ඇති. මේ ආණ්ඩුවට රට කරන්න දෙන්න ඕනි. මොන ආණ්ඩුව ආවත් අවුරුද්දෙන් දෙකෙන් සියලුම දේ සම්පූර්ණ කරන්න බෑ.”