චෝදනා 23,270 ක් එනම් මෑත ලෝක ඉතිහාසයේ වැඩිම චෝදනා ප්‍රමාණයක් ගොනු කරමින් පවරා තිබූ පාස්කු මහ නඩුවේ තීන්දුව අද (22දා) කොළඹ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී නිකුත් කිරීමට නියමිතය.
මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක හා රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේදී අද පෙරවරු 9.00 ට එකී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු 269 දෙනකු මරණයට පත් කරමින් තවත් 577 දෙනකුට තුවාල සිදු කරමින් 2019.4.21 වැනිදා සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් අටදෙනකු ස්ථාන හතකදී සිදුකළ එම මරාගෙන මැරෙන ප්‍රහාරයට ආධාර අනුබලදීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 25 දෙනකුට එරෙහිව එම නඩුව පවරා තිබිණි. 2021 වසරේදී චෝදනා ගොනු කොට නඩු පැවරීමෙන් අනතුරුව එක් විත්තිකරුවකු බන්ධනාගාර භාරයේ සිටියදීම මියගොස් තිබීම නිසා සෙසු විත්තිකරුවන් 24 දෙනාට එරෙහිව එම නඩු විභාගය පැවැත්විණි.