අලුතින් බලාත්මක කරන ලද සීට් බෙල්ට් නීතිය යටතේ, පස්දෙනෙකුගෙන් යුත් පවුලක් වාහනයකින් ගමන් කරන විට, දරුවෙකු වාහනයේ රැගෙන යාම සඳහා පිටුපස ආසනයේ මැදට අමතර සීට් බෙල්ට් එකක් සවි කිරීමට අවසර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේය.
“අපි කියන්නේ අවශ්‍ය සෑම ආසනයකටම සීට් බෙල්ට් එකක් සවි කරන්න කියලා විතරයි. වාහනයක යා හැක්කේ පුද්ගලයන් තුනක් හෝ හතරක් විතරයි කියලා කියන්න අපිට බලයක් නෑ. වැදගත් වන්නේ සෑම මගියෙකුටම සීට් බෙල්ට් එකක් තියෙනවද කියන එකයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.
දැනටමත් සීට් බෙල්ට් සවි කර ඇති වාහනවල මගීන් අනිවාර්යයෙන් සීට් බෙල්ට් පැළඳිය යුතු බවත්, සීට් බෙල්ට් සවි කර නොමැති වාහන සඳහා ඒවා සවි කිරීමට වසරක කාලසීමාවක් ලබාදී ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම නීතිය සැප්තැම්බර් 19 වැනිදා සිට අනිවාර්ය කරන ලදී.
මෑතකදී අධිවේගී මාර්ගයේ සිසුන් රැගත් වාහන 11ක් අනතුරට පත් වූ අවස්ථාවේදී, බස් රථයේ සිටි සියලුම මගීන් සීට් බෙල්ට් පැළඳ සිටි නිසා එම අනතුරින් සුළු තුවාල පමණක් සිදුවීම, මෙම නීතියේ ධනාත්මක බලපෑම පැහැදිලිව පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මගී සංඛ්‍යාව සීමා කිරීම නොව ආරක්ෂාව තහවුරු කිරීමයි මෙම නීතියේ අරමුණ බව අවධාරණය කළ රත්නායක මහතා, “පවුලකට දරුවන් තුන්දෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන්නවා නම්, එක් දරුවෙකු වෙනුවෙන් පිටුපස ආසනයේ මැදට අමතර සීට් බෙල්ට් එකක් සවි කරගන්න පුළුවන්. අපිට ඕන වාහනවල සීට් බෙල්ට් තියෙන එක විතරයි,” යැයි වැඩිදුරටත් සඳහන් කළේය.