අඛණ්ඩ කම්පන මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තුදීමේ හැකියාවක් පෙන්නුම් කරලා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ ඇතුළු නියෝජිත පිරිස සැප්තැම්බර් 10 සිට 23 දක්වා මෙරට සිදුකළ සංචාරය අවසානයේ අද (23) මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය 5%ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශය වුණේ.

අඩු සහ ස්ථාවර උද්ධමනයක් ස්ථාපිත කරන්නේ නම් මීළඟ සමාලෝචනයේ දී අඩු උද්ධමන ඉලක්කයක් පිළිබඳ සලකා බැලිය හැකි බවත්, ශක්තිමත් මධ්‍ය කාලීන ආදායම් උපාය මාර්ග සංවර්ධනය, බලශක්ති පිරිවැය යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම මෙරට ප්‍රධාන ප්‍රමුඛතා විය යුතු බවයි එම අරමුදල පවසන්නේ.

මේ අතර ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ බලපෑම හේතුවෙන් අගෝස්තු මාසයේ මෙරට උද්ධමනය වාර්ෂික පදනමින් 8%ක් දක්වා ඉහළ ගිය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරනවා.

කෙසේ වෙතත්, උද්ධමන අපේක්ෂා පුළුල් වශයෙන් පාලනය වී ඇති බවද එම අරමුදල පවසනවා.

මැදපෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාවය, ගෝලීය වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳ අවිනිශ්චිතතාවය සහ එල් නිනෝ කාලගුණික බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් පහළ මට්ටමේ අවදානම්වලට මුහුණ දෙන බවත් එම අරමුදල පෙන්වා දී තිබෙනවා.

මේ අතර අඛණ්ඩ කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පාපජෝර්ජියෝ මෙහිදී පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතර, ඉදිරියේ දී කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම තුළින් විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ හත් වන සමාලෝචනය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද එම අරමුදල පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *