ශ්‍රී ලංකා නාවික හමුදාව සමග රක්නා ආරක්ෂක ලංකා සමාගම සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවය සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කටයුතු කරන බව කෝප් කමිටුව (පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව) පවසයි.
එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, එම මුහුදු ආරක්ෂණ කටයුතු සදහා ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම එක්කර ගැනීම මගින් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බවය.
රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවා තිබූ අතර, එහිදී මෙම මුහුදු ආරක්ෂණ කටයුතු සදහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේය.
මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම සඳහා ගිවිසුම් ගතවුයේ කුමන පාර්ශවයකගේ අවශ්‍යතාව මතද යන්න මෙහිදී කෝප් කමිටු සාමාජික දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද ප්‍රශ්න කළේය.
ඒ අනුව මෙම සමාගම සම්බන්ධයෙන් තිබෙන සියලු ගිවිසුම් අහෝසි කිරීමට සහ ඒ හරහා රජයට සිදුවූ පාඩුව අයකර ගැනීමට ඇති හැකියාව මෙන්ම ඒ සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කෝප් කමිටුවේ සභාපති නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.