“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින්, ඉන්දියානු රජයේ ආධාර සහ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියරේ නිවාස 10,000ක වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලගොල්ල වතුයායේ නව නිවාස 51ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම හෙට (29) දින සිදු කිරීමට නියමිතව තිබෙනවා.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් ද එක්වීමට නියමිතයි.
මලයගම් ප්‍රජාවට සුරක්ෂිත, ගුණාත්මක සහ ගෞරවනීය නිවාස පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර මෙහිදි නායයෑමේ අධි අවදානම් කලාපයක ජීවත් වෙමින් වසර 13කට අධික කාලයක් පුරා අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් 51ක් සඳහා නව නිවාස ඉදිකිරීම මෙහිදි ආරම්භ කෙරෙනවා.
දීර්ඝ කාලයක් තිස්සේ නායයෑමේ අවදානම හේතුවෙන් අසීරු තත්ත්වයන් යටතේ ජීවත් වූ මෙම පවුල් සඳහා සුරක්ෂිත නිවාස පරිසරයක් සහ ගෞරවනීය ජීවන තත්ත්වයක් උරුම කරදීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
මෙහිදි එක් නිවාස ඒකකයක් සඳහා ඉන්දියානු රජය විසින් රුපියල් ලක්ෂ 28ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන අතර, අමතර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් එක් නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 4ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.