හික්කඩුව සීනිගම දේවාලයේ තාවකාලික භාරකරු ලෙස කටයුතු කරන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (පාලන) නිමේෂ් තිවංකර සෙනෙවිපාල ඔහුගේ මාසික දීමනාව ලෙස රුපියල් දෙලක්ෂ දහතරදහස් තිස් දෙකක මුදලක් සඳහන් කරමින් චෙක් පතක් ඔහු විසින්ම ලියාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කර ඇත.
එම විමර්ශනයෙන් අනතුරුව එම අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ අදාළ නිලධාරියා පුරප්පාඩුව පවතින කම්කරු දෙපාර්තමේන්තුවේ තනතුරක් සඳහා ස්ථාන මාරු ලබා දීමටය.
ඒ අනුව ඔහුගේ එම ස්ථාන මාරුව සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එම්.එල්. ගම්මන්පිල විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිඛිතව යොමු කර ඇත.
එමෙන්ම මෙම නිලධාරියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වෙත ස්ථාන මාරු කරන ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.
එහෙත් එම නිලධාරියා සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශනය මගින් හෙළි වී ඇත්තේ සිය තනතුරට නොගැළපෙන ආකාරයට හා ජනාධිපතිවරයාට අපහාස වන ලෙස පළකිරීම් කර ඇති බවය.
එම නිසා ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය වෙත ස්ථාන මාරු කිරීම සුදුසු නොවන බවට නිරීක්ෂණය වීම නිසා ඔහු මෙලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ තනතුරක් සඳහා ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිර්දේශ ලබා දී තිබේ.