ඉතිහාසය වෙනස් කරමින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි සොයා ගනියි

නවීන තාක්ෂණික ක්‍රමවේදයකට අනුව පොළොන්නරුව ඉපැරණි පරාක්‍රමබාහු රාජ්‍ය මාලිගය පරිශ්‍රය තුළ පොළොව විනිවිද පෙනෙන රේඩාර යන්ත්‍රයක් මගින් පොළොන්නරුව යුගයට එහා ගිය ඈත යුගයක සාක්ෂි රැසක් සොයා ගැනීමට හැකි වූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.

පොළොව විනිවිද පෙනෙන නව රේඩාර යන්ත්‍රය මගින් මෙහිදී දැනට මතුපිටට පෙනෙන පුරාවිද්‍යාත්මක නටබුන්වලට අමතරව, පොළොව යට මීටර් තුනක් ගැඹුරින් තවත් ගොඩනැගිලි පාදම් පොකුණු මෙන්ම උදුන් ආදී වශයෙන් දැකගැනීමට හැකිවූ බව ඔස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කියස් ටික්ලින් මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව පුරාවිද්‍යාත්මක මානව සහ නාගරිකකරණය පිළිබඳව තවදුරටත් සොයා බැලීම සඳහා ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය, කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාවේ ලාට්‍රොප් විශ්වවිද්‍යාලය එක්ව ඉකුත් 04වනදා ආරම්භ කර ඇත.

තවදුරටත් සවිස්තරාත්මක කරුණු දැක්වූ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා,

“පොළොන්නරුව නාගරිකකරණය පිළිබඳව සොයා බැලීමේ පුරාවිද්‍යාත්මක කැණීම් ව්‍යාපෘතියක් ලෙස කැලණිය විශ්වවිද්‍යාලය සහ ඔස්ට්‍රේලියාව ලාට්‍රොප් විශ්වවිද්‍යාලයේ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල් යාපනය විශ්වවිද්‍යාලයේ එකතුව මේ පර්යේෂණ කටයුත්ත අපි ඉකුත් 04වන දින ආරම්භ කළා.මෙම මස 26වන වන විට මේ ව්‍යාපෘතියේ මූලික කටයුතු අවසන් කරනවා.

මෙහි මූලික අරමුණ පොළොන්නරුව නාගරිකකරණය තුළ ඉපැරණි පුරාවස්තු තවදුරටත් සොයා තිබේදැයි බැලීමයි. මෙහිදී අපේ නව තාක්ෂණික ක්‍රමයක් භාවිත කරනවා.පොළොව විනිවිද පෙනීමේ රේඩාර් යන්ත්‍රය මගින් පරීක්ෂණ කටයුතු සිදු කිරීම තමයි එම තාක්ෂණික ක්‍රමවේදය. ඒ අනුව සම්පූර්ණ වශයෙන්ම පොළොන්නරුව ඇතුල් නගරය සියයට අසූවක් විතර අපට සොයා බැලීමට හැකිවුණා.

මෙතන වැදගත්ම කාරණය තමයි පොළොන්නරුව ඇතුළු නගරයේ අපි දකින්නේ පරාක්‍රමබාහු රජ මාලිගය රැස්වීම් ශාලාව සහ තවත් පොකුණු කිහිපයක් පමණයි.නවීන තාක්ෂණ ක්‍රමවේදය අනුව පොළොව යට මීටර් තුනක් ගැඹුරින් තවත් ගොඩනැගිලි පාදම් පොකුණු, ඒ වගේම උදුන් ආදී වශයෙන් ගොඩක් දේවල් අපට ලැබුණා.මේ හමුවූ තොරතුරු සමග පොළොන්නරුවට එහා ගිය පොළොන්නරු යුගයටත් වඩා ඈත යුගයක සාක්ෂි දැනට අපිට තාවකාලිකව අනාවරණය වී තිබෙනවා.

මේ සොයා ගත් තොරතුරු මත මෙම ස්ථාන පුරාවිද්‍යා කැණීමට භාජනය කිරීම තුළින් අනාගතයේ මේ පොළොන්නරු නගරයේ ඈත අතීතය පිළිබඳව සංචාරකයන්ට විධිමත් ආකාරයෙන් දැක බලා ගැනීමට අවශ්‍ය කටයුතු අපි සලස්වනවා.”

image f02531c6cb Iri News
image 85d0bc6ed5 Iri News
image b8c6d22132 Iri News
image 1f4d04efd6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *