පාරෙ නටන බිග්මැච් පෙරඩ්වලට පොලිසියෙන් අවසර දෙයි

වාර්ෂික පාසල් ක්‍රිකට් තරගවලට සමගාමීව සිදුකරන රථ වාහන සංදර්ශන සඳහා කිසිදු තහනමක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පැවසීය. පාසල් සිසුන් හා ආදි සිසුන් පූර්ණ වගකීමකින් යුක්තව පොලිසියද සම්බන්ධ කරගනිමින් මාර්ග සංදර්ශන පවත්වන්නේ නම් ඒ සඳහා අවසර දෙන බවද ඇමැතිවරයා කීවේය.

වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමවල අංගයක් ලෙස රථවාහන සන්දර්ශන සිදුවන බවත් කී ඇමැතිවරයා පසුගිය වසරේදී එවැනි සන්දර්ශනයකට සහභාගී වූ බදුල්ලේ පාසල් සිසුන් දෙදෙනකු මිය යෑම වැනි අනතුරුදායක සිදුවීම් නොවීමට ගුරුවරුන් හා ආදි සිසුන් වග බලාගත යුතු බවද කීවේය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21 වැනිදා ) පැවති මාධ්‍ය හමුව සඳහා එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේ පාසල් ක්‍රිකට් තරග සඳහා රථවාහන සන්දර්ශන තහනම් කර තිබියදී කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකකට එවැනි සන්දර්ශන පැවැත්වීමට අවසර ලැබුණු ආකාරය ගැන කරන ලද ප්‍රශ්න කිරීමේදීය.

මෙම මාධ්‍ය හමුවට එක්වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක ක්‍රිකට් ගැටුමට සමගාමීව මෙම රථවාහන පෙළපාළි දෙකම පූර්ණ වශයෙන් ආරක්ෂාකාරී ලෙස සංවිධානය වී තිබූ බවය.

තමන් මෙම වාහන පෙළපාළියේ ආරක්ෂාව හා වැඩ කටයුතු වෙනුවෙන් රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ ඍජුවම යෙදවූ බවද කී පොලිස්පතිවරයා අනෙක් පාසල්වලටද එම අවස්ථාව ලබාදීමට ගැටලුවක් නැති බවද කීවේය.

නමුත් තට්ටු ලොරි ඇතුළු අනතුරුදායක වාහන මෙම සන්දර්ශන සඳහා යෙදවීමට අවසර නොදෙන බවත් මාර්ග විනය සහිතව, මත්පැන් භාවිතයකින් තොරව රථවාහන සන්දර්ශන සඳහා ඉදිරිපත් විය හැකි බවද වැඩ බලන පොලිස්පතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *