රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත් ඒ අනුව ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් දොළොස්ලක්‍ෂ හැටපන්දහසකට (12,65,000 කට) ආසන්න වී ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.
මේ අනුව හතරදෙනකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රජය ලබා ගන්නා ලද ණය ප්‍රමාණය රුපියල් පනස්ලක්‍ෂ හැටදහසකට (50,60,000කට) වැඩි වී ඇති බවයි ඔහු පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කළේ.
රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය 2020 වසර වන විට පැවතුණේ රුපියල් හය ලක්‍ෂ අනූදහසකට (690,000) ආසන්න ප්‍රමාණයකි.
එය 2021 වසර වන විට රුපියල් ලක්ෂ 08 ඉක්මවා තිබුණි.
එහෙත් පසුගිය වසර තුනක කාලයේ දී එම මුදල දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
රටේ මුළු ණය ප්‍රමාණය ගැන සලකා බැලූ විට එය පැවතුණේ රුපියල් බිලියන 13,031ක් වශයෙන්.
2020 වසර වන විට එය බිලියන 15,117 දක්වා වැඩිවී තිබුණු අතර 2021 වසර වන විට රුපියල් බිලියන 17,614 දක්වා වර්ධනය වී තිබෙනවා.
2022 වසර වන විට රුපියල් බිලියන 27,492 දක්වා වර්ධනය වී ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව පෙනී යන්නේ 2019 වසර වන විට රජය එක් පුද්ගලයකු වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 598,000ක් බවය.
2020 වසර වන විට 690,000 දක්වාත් 2021 වසර වන විට 795,000 දක්වාත් එය වැඩිවී තිබෙනවා.
මේ කාලයේ දී ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩිවී ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක්.