අත දරුවා ත්‍රිරෝදයෙන් පාරට වැටිලා – අම්මායි තාත්තායි ඒක දන්නේ කි. මී. 3ක් ගියාට පස්සේ

ත්‍රිරෝද රියකින් නුවරඑලියේ සංචාරයක් කර ආපසු පැමිණෙමින් සිටි තිදෙනකුගෙන් යුත් පවුලක මාසයක් පමණ වයසැති අතදරුවා ත්‍රිරෝද රියෙන් බිමට වැටී ඇතත් පියාටත්, මවටත් ඒ බව දැනගැනීමට ලැබී ඇත්තේ වාහනය කිලෝමීටර් තුනක් පමණ දුරක් ගිය පසුවය.

කිතුල්ගල පොලිසිය පවසන ආකාරයට මෙම ත්‍රිරෝද රිය නුවරඑලියේ සිට ආපසු මීගමුව දෙසට එද්දී මව තදින්ම නින්දට වැටී ඇත. අත දරුවා මේ අතරතුරේදී වාහනයෙන් බිමට වැටී ඇත. මද වේලාවකට පසු ඒ පසුපසින් පැමිණි මෝටර් රථයක් පාර මැද වැටී තිබූ රෙදි පොට්ටනියක් (අත දරුවන් ගෙනයෑමට රෙදිවලින් සෑදූ කූඩය) පසුකර යද්දී රියැදුරාට රෙදි පොට්ටනිය පිළිබඳව සැකයක් මතුවී බලන විට රෙදිවලින් ඔතා සිටි දරුවා දැකගැනීමට ලැබී තිබේ.

එම රියදුරු දරුවා ඒ මොහොතේම කිතුල්ගල පොලිසියට භාරදී ඇති අතර අතුරුදන් වූ දරුවා සොයාගෙන පැමිණි අඹුසැමි යුවළ පොලිසියට පැමිණි මොහොතේ එම දරුවා භාරගෙන තිබේ. මෙම දරුවාට සීරිම් තුවාල සිදුවී ඇත. දරුවාත් මවත් කිතුල්ගල රෝහලේ ප්‍රතිකාර ලබති.

මෙම දරු පවුල කතරගමට ගොස් එහි සිට නුවරඑලියේ සංචාරයක් කර පෙරේදා (28දා) මැදියම් රාත්‍රියේ මීගමුවට එද්දී මෙම සිද්ධියට මුහුණපා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *