සංචාරයකට මෙරටට පැමිණ සිටි බ්‍රිතාන්‍ය ජාතික ධනවත් ව්‍යාපාරික කාන්තාවක් ආහාර අසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පුත්තලම මූලික රෝහලේදී ඊයේ (01) අලුයම මරණයට පත්ව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික (JANE LOUIES) ජෙනි ලුයිස් නැමති 70 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් බව කියයි.
සංචාරයකට මෙරටට පැමිණ කල්පිටිය ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සිටිය දී අසාධ්‍යව කල්පිටිය රෝහලට ඇතුළත් කර පසුව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මරණයට පත්ව තිබේ.
මේ බ්‍රිතාන්‍ය කාන්තාව තවත් සංචාරකයන් පිරිසක් සමඟ ශ්‍රී ලංකාවට පෙබරවාරි 21 වැනි දින පැමිණ ඇති බව කියයි.
පසුව මේ විදෙස් කාන්තාව පෙබරවාරි 21,22,23 දින අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නැවතී සිටියදී ආහාර අසාත්මිකතාවක් ඇතිව තිබු බවත් ඒ සඳහා එරටින් රැගෙන විත් තිබු ඖෂධ භාවිතා කර ඇති බවත් කියයි.
නැවත මේ කාන්තාව අනුරාධපුර සිට 25, 26 දිනවල යාපනය සංචාරයක තම කණ්ඩායම සමඟ සංචාරය කරමින් ඇති බවත් එහිදී ද අසකීප තත්ත්වය මතුව තිබු බව පැවසෙයි.
එම තත්ත්වය යටතේම 27,28,29 දිනවල කල්පිටිය සංචාරයකට පැමිණ ඉලන්තඩිය සංචාරක හෝටලයක නැවතී සිටියදී යළි පෙර පැවති ආසාත්මිකතාව මතු කරමින් රෝගී වී ඇති බවත් ඒ සඳහා කල්පිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගෙන තිබි ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
නමුත් අදාළ වෛද්‍යවරයාගෙන් ගත් ඖෂධ එක් දිනක් පමණක් භාවිතා කර මේ විදෙස් කාන්තාව එරටින් පැමිණෙන විට රැගෙන ආ ඖෂධ භාවිත කර තිබු බව කියැවේ.
එසේ සිටියදී මේ කාන්තාවගේ රෝගී තත්ත්වය වැඩිවීමෙන් පසු 29 වැනි දින සවස පුත්තලම මූලික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණි.
එසේ ඇතුළත් කර පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේ කාන්තාව පළමුවැනි දින අලුයම මරණයට පත්ව තිබේ. ඇය මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය කණ්ඩායම සමඟ ඇගේ මිතුරකු සිට ඇති නමුත් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ළඟම ඥාතියකු අවශ්‍ය බව පොලිසිය පැවසීමත් සමඟ මරණයට පත් මේ විදෙස් කාන්තාවගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව කියයි. සැමියා මෙරටට පැමිණිමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබුණි. මේ මරණය සම්බන්ධයෙන් නොරෝච්චෝල පොලිසිය හා පුත්තලම මූලික රෝහල් පොලිසිය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.