කාන්තාවකට බරපතල ලෙස පහරදීමේ සිද්ධියක් මුල්කරගනිමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා මේ වන විට සැඟව සිටින බවයි.
ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයෙකු වන මොහොමඩ් ඉෂාම් ජමල්දීන් විසින් කළ පහරදීමකින් තරුණියක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවට වැල්ලවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබි තිබුණා.
ඒ අනුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කළ අතර හැව්ලොක් උද්‍යාන මාවතේ මහල් නිවාස සංකීර්ණයක දි මෙම පහරදීම සිදුව තිබු බවයි අනාවරණය වුණේ.
ඊයේ අලුයම එකට පමණ එම මහල් නිවාස සංකීර්ණයට පැමිණ ඇති අදාළ පුද්ගලයා එම තරුණියට පහරදි තිබුණා.
පහරදීමෙන් බරපතල තුවාල ලැබු තරුණිය කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස පහර කැමට ලක්ව ඇත්තේ අනිකා විලියම්සන් නමැති තරුණියක් වන අතර, ඇය එම මහල් නිවාස සංකීර්ණයේ තනිවම වාසය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු සමඟ විවාහ වි සිටින ඇය මෙරට ප්රමුඛ පෙළේ සමාගමක හිමිකරුවෙකුගේ දියණියක් බව ද වාර්තා වනවා.
මෙම පහරදීම සම්බන්ධයෙන චෝදනා එල්ලවන ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කළා.
ඒ අනුව කොල්ලුපිටිය සහ කැප්පටිපොල ප්‍රදේශවල පිහිටි ඔහුගේ නිවාස පරීක්ෂා කළත් ඔහු සොයා ගැනීමට හැකි වුයේ නැහැ.
පොලිසිය පැවසුවේ ඔහු පොලිසිය මඟහරිමින් සැඟව සිටින බවයි.
පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා ඇති අතර ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබාගැනීමටද පියවර ගත්තා.
සැකකරු සොයා අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පැවැත්වෙනවා.
මෙම පහරදීමට හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, පෞද්ගලික ආරවුලක් ඊට හේතුවී ඇති බවටයි සැක කෙරෙන්නේ.