ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පොලිසියට භාරදුන් 52 හැවිරිදි විවාහක එක්දරු පියකු අනීතික ලෙස රඳවාගෙන අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකුට හා පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (04දා) මරණීය දණ්ඩනය නියම කළේය.
එකී මනුෂ්‍ය ඝාතන චෝදනාවට අමතරව තවත් චෝදනා දෙකකට ද වරදකරුවන් කළ උප පොලිස් පරීක්ෂක චමින්ද කුමාර සහ පොලිස් කොස්තාපල් අනුර වීරවර්ධන යන විත්තිකරුවන් දෙදෙනාට බරපතළ වැඩ සහිත වසර 12 බැගින් වූ සිරදඬුවම් හා රුපියල් 20,000 බැගින් දඩ ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ 19 හැවිරිදි දියණියට රුපියල් ලක්ෂ දහය බැගින් වන්දි ගෙවීමට නියම කළේය. එමෙන්ම එකී දඩ හා වන්දි නොගෙවන්නේ නම් වසර දෙකයි මාස හය බැගින් ලිහිල් සිරදඬුවම් නියම කර ඒවා වෙන් වෙන්ව ලබාදිය යුතු බවට ද නියම කළේය.
පළමු හා හතරවන චෝදනාවලට තම අධිකරණය විසින් නීතිය අනුව නියම කළ හැකි උපරිම දඬුවම් නියම කරනු ලැබුවේ මරණකරුගේ පශ්චාත් මරණ වෛi වාර්තා හා නිරෝගි පුද්ගලයකු ලෙස දෙපයින් පොලිසියට පැමිණි මරණකරු පොලිසිය තුළදී වධබන්ධනයට ලක්වී ඇති බව ඉදිරිපත් වූ සාක්ෂි හා වෛi වාර්තා අනුව සනාථවීම මත බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයේ සේවය කළ පොලිස් නිලධාරියකුගේ නිවසේ කම්කරුවකු ලෙස සේවය කළ රංජිත් අබේසිංහ නමැති මියගිය පුද්ගලයා එම නිවසේ තිබූ ජංගම දුරකථනයක් සොරකම් කළේ යැයි කියමින් නිරෝෂා රත්නායක නමැත්තිය විසින් 2005.07.13 වැනිදා රාත්‍රි 9.00ට පමණ සිය මෝටර් රථයෙන්ම පෑලියගොඩ පොලිසියට රැගෙන විත් භාරදී තිබිණි. පසුව විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනා පැමිණිලිකාරියගේ රථයෙන්ම සොර බඩු සොයාගැනීම සඳහා සැකකරු ද රැගෙන ඇගේ නිවසට ගොස් ඇත. එදින රාත්‍රි ඔහු නැවත පොලිසියට රැගෙන විත් සැකකරු අත්අඩංගුවට ගත් බවට කිසිදු සටහනක් නොතබා පොලිසියේ උඩු මහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් රඳවා ඇති බවත් සාක්ෂි විභාගයේදී අනාවරණය වී තිබිණි. සැකකරුගේ දෑතට මාංචු දමා ජනේලයක යකඩ කූරුවලට සම්බන්ධ කර විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් පහරදී ඇති බවත් පසු දින උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට රැගෙන යන අතරතුරදී ඔහු මියගොස් ඇති බවත් අනාවරණය වී තිබිණි. මරණකරුගේ ශරීරයේ පිටතින් සීරීම් තුවාල 15කුත් අභ්‍යන්තර තුවාල 11කුත් ඇති බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව අනාවරණය වී තිබූ අතර විකට් පොල්ලකින් හා මොට ආයුධයකින් පහරදීම නිසා ශරීරයේ අභ්‍යන්තරයට සිදුවූ තුවාලවලින් අභ්‍යන්තරයට රුධිරය වහනය වීම මරණයට හේතුව බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී තිබිණි.
මරණකරු ඇදවැටී තුවාල සිදුවී ඇති බව පෙන්වා දෙමින් ඔහු රෝහල් ගතකර තිබූ නමුත් මොට ආයුධවලින් පිටතට නොපෙනෙන අයුරින් සූක්ෂමව සිදුකළ පහරදීම් නිසා අස්ථි බිඳී යෑම් කීපයක්ම සිදුවී ඇති බවත් මිට මොලවා මුහුණට එල්ල කළ යම් ප්‍රහාර නිසා මුහුණේ අභ්‍යන්තරයට හානි සිදුවී ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව වැඩිදුරටත් පෙන්වා දී තිබිණි. මරණකරු දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අයකු ලෙසට පොලිසිය පවසා තිබූ නමුත් මරණකරුගේ ශරීරයේ අභ්‍යන්තරයේ මත්ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බවට ද එකී වෛi වාර්තා මගින් සනාථ කර තිබිණි.
නීතිය බලාත්මක කිරීමට හා පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති පොලිස් දෙපාර්තමේන්තුව වැනි ආයතනයක සේවය කළ පළපුරුදු නිලධාරීන් වන විත්තිකරුවන් සිදුකර ඇත්තේ ඉතා බරපතළ වරදක්. ඔවුන්ගේ එකී ක්‍රියාදාමය නිසා පොලිස් නීතිරීති දැඩි ලෙස උල්ලංඝණය වී ඇති බවත් දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ රජයේ අධිනීතිඥ චතුරු විජේසූරිය මෙනවිය අධිකරණයට පැවසුවාය.
දෙවන විත්තිකාර පොලිස් කොස්තාපල්වරයා කලක් අධිකරණය මගහැර සැඟවී සිටීම නිසා ඔහු නොමැතිව නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට සිදුවූ බවද අධිකරණයට පෙන්වා දුන් රජයේ අධිනීතිඥවරිය කුමන තරාතිරමක සිටියත් කුමන නිලයක් දැරුවත් සෑම සියලු දෙනාම නීතියට යටත් බවත් සෑම නිලධාරියකුම රාජකාරි කළ යුත්තේ නීතිය අනුව බව විත්තිකරුවන්ට පමණක් නොව අන් අයටත් පසක් කරවන ආකාරයෙන් උපරිම දඬුවම් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සාමාන්‍ය ජනතාවට ආරක්ෂිත ස්ථානයක් වියයුතු පොලිසිය තුළදීම මෙවැනි අපරාධ සිදුවන්නේ නම් එය ඉතා බරපතළ කරුණක් වන්නේ යැයි ද අධිකරණයට පැවසූ රජයේ අධිනීතිඥවරිය නීතිය සියතට ගෙන තමන්ට ඕනෑ ආකාරයෙන් කටයුතු කළ හැකි බවට හා ඕනෑම දෙයක් සිදුකර නීතියෙන් ගැලවී යා හැකි බවට සමහර පොලිස් නිලධාරීන් තුළ පවතින මතය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදීම අධිකරණයේ වගකීම බවද කීවාය.
නිරෝගි පුද්ගලයකු ලෙස දෙපයින් ඇවිද පොලිසියට ගිය පුද්ගලයකු ඉන් පැය 24ක් ඉක්ම යෑමටත් පෙර මළ මිනියක් බවට පත්වීමම විත්තිකරුවන් සිදුකර ඇති එම ප්‍රහාරයේ කුරිරු බව හා බරපතළකම කොතරම් දැයි පසක් කරන්නේ යැයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නිරායුධ සිවිල් පුරවැසියකුට විශේෂයෙන් කිසිදු සොර භාණ්ඩයක් හෝ සන්තකයේ තිබී සොයානොගත් සැකකරුවකුට එලෙස පහරදීම ශිෂ්ට සමාජය කිසිම දිනක අනුමත නොකරන බවත් නිසි නඩු විභාගයකින් අනතුරුව වරදකරු කරනා අයකුට පමණක් දඬුවම් ලබාදීමට අධිකරණයට බලයක් ඇතත් පොලිස් නිලධාරීන්ට ඔවුනගේ අභිමතය පරිදි දඬුවම් ලබාදීමේ අයිතියක් නොමැති බවද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
නිසි අධිකරණයකට ඉදිරිපත් නොකර පොලිසිය සිදුකර ඇති එම දඬුවම් ලබාදීම මගින් පොලිසිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය කඩවන බවද සිය තීන්දුව නිකුත් කරමින් පෙන්වා දුන් විනිසුරුවරයා මෙවැනි ක්‍රියා පොලිස් දෙපාර්තමේන්තුවට බලවත් කැළලක් ඇති කරන බවද පිටු 144ක් වූ සිය තීන්දු ප්‍රකාශය මගින් පෙන්වා දුන්නේය. එම නඩුවේ තුන්වන විත්තිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාවුස් දසනායක හා පොලිස් සැරයන් මොහොමඩ් අසීස් යන විත්තිකරුවන් දෙදෙනා සියලුම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය. එම සැකකරුවන් වෙනුවෙන් නීතිඥ ශමින්ද්‍ර රොඩ්රිගෝ මහතා පෙනී සිටියේය. පොලිස් සැරයන් රන්දෙණිය මහතා පොලිසිය වෙනුවෙන් පෙනී සිටියේය.