පිටිදූවේ සිරිධම්ම හිමිට මල්වතු පාර්ශ්වයෙන් දැඩි තීරණයක් ගන්න යයි – පරීක්ෂණයකුත් කරයි

මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ පිරිසක් පිටිදූවේ සිරිධම්ම හිමියන් සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියන්ට කළ පැමිණිල්ල එම සංඝ සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.

මීට පෙර බුදුදහමට එරෙහි ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහා විහාරයට කැඳවා අවවාද කර ඇති බැවින් මෙවර එල්ල වී ඇති චෝදනා ගැන පරීක්ෂණයක් කර ඒවා ඔප්පු වුවහොත් සිරිධම්ම හිමියන් ගැන දැඩි තීන්දුවක් ගැනීමට මල්වතු මහානාහිමියන් සූදානමින් සිටින බව එම විහාර ආරංචිමාර්ග පවසයි.

සිරිධම්ම හිමියන් අන්‍ය නිකායික හිමිවරුන්ගේ හා බෞද්ධයන්ගේද සිත් රිදවමින් ප්‍රකාශ නිකුත් කිරීම මෙන්ම ශාසනික හා ආගමික වශයෙන් කරන හානිය ගැනද විමර්ශනයක් කර එම හිමියන් මල්වතු පාර්ශ්වයෙන් නෙරපන ලෙස පහතරට සඟ පෙරමුණේ මහ ලේකම් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු හිමිවරුන් පසුගියදා මල්වතු මහානාහිමිට පැමිණිල්ලක් කරමින් ඉල්ලා තිබිණ.

මීට අමතරව තමන් වහන්සේගේ ප්‍රකාශ විකෘති කර යූ ටියුබ් නාළිකාවල පළකර ඇතැයි පවසමින් මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමියෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිලි කර ඇත.

භික්ෂුන් වහන්සේ පිරිසක් සිරිධම්ම නාහිමිට එරෙහිව කළ පැමිණිල්ල ගැන සංඝ සභාවේ සාකච්ඡා කරන බව මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ සුමංගල නාහිමියෝ ‘ පැවැසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *