තරුණයෙක් අක්කරයක කොමඩු වගාවෙන් ලක්ෂ 40ක් හොයයි

අනුරාධපුර  තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  තරුණ ගොවි මහතෙකු නවීන තාක්ෂණය යොදා ගෙන සිදුකල අක්කරයක කොමඩු වගාවකින් දින හැටක් තුළදී රුපියල් ලක්ෂ හතළිහක ආදායමක් ලබා පුවතක් තිරප්පනය – ඌරාකොටේ ගම්මානයෙන් වාර්තාවේ.

කොමඩු වගාකල මෙම දිරිය ගොවි ගල්කුලම ප්‍රදේශයේ පදිංචි බුද්ධික සුදර්ශන නැමති 39 හැවිරිදි දෙදරු පියෙකි. 

අක්කරයක සිදු කල කොමඩු වගාවෙන් කිලෝ විසි එක්දහසක පමණ අස්වැන්නක් ලබාගැනීමට හැකි වූ බවත් එය කිලෝ එකක් රුපියල් එකසීය අසූවක පමණ මුදලකට අලෙවි කිරීමෙන් තමන්ට මෙම ඉහළ ආදායමක් ලබාගැනීමට හැකි වූ බවත් එම ගොවි මහතා පැවසීය. 

“2023 දෙසැම්බර් මාසයේ තමයි මම මේ කොමඩු වගාව පටන් ගන්නේ, දෙසැම්බර් මාසය කියන්නේ රජරට  පොළොවේ කොමඩු වගා කරන කාලයක් නෙමෙයි.  ඒ කාලයේදී සම්පූර්ණයෙන්ම පොළොවේ සීතල නිසා කොමඩු පැල විනාශ වෙනවා. හැබැයි මට පුළුවන්කම ලැබුණා නවීන තාක්ෂණයත් එක්ක අලුත් ක්‍රමයකට කොමඩු වගා කරන්න. 

මේ නවීන තාක්ෂණයේ මුලින්ම ජල නළ පද්ධතියක් සවිකර තිබෙනවා  ඒ නල පද්දතිය මැදින්, ටේප් එක ගිහින් තියෙනවා, ඊට උඩින් මාච්  එක දාලා තියෙනවා. එයට කියන්නේ බිංදු ජල වගා ක්‍රමය කියලා.

හොඳ අස්වැන්නක් ලැබුණා, ඒ අස්වැන්න  හොඳ මිලකට මට දෙන්න හැකියාව  ලැබුණා. ඒකට හේතුව කොමඩු හිඟ වැස්ස අධික කාලයේ වගා කරපු නිසා මට හොඳ මිලක් ලැබුණා. 

අධික වර්ෂාව තියෙන කොට මේ ප්‍රදේශයේ ගොඩක් ගොවීන්ගේ  වගාවන් විනාශ වෙලා ගියා. හැබැයි මේ නව තාක්ෂණික ක්‍රමයට මේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ හම්බ වෙච්ච ව්‍යාපෘති කට්ටලයෙන් මිරිස් වගාව අවසන් කරලා තමයි මම එය කොමඩු වගාවේ භාවිතයට  යොදා ගත්තේ, හැබැයි මට ඒ වෙලාවේ මුදල් තිබ්බේ නෑ. කොමඩු ඇට ටින් 6ක ප්‍රමාණයක් වත් මිලදී ගන්න. මම මගේ බයිසිකලේ උකස් තියලා තමයි පලවෙනි කොමඩු ඇට ටින් ගත්තේ මේ වගාව ආරම්භ කරන්න. 

දෙසැම්බර් මාසේ තද වැස්සේ මේ වගාව සාර්ථක වෙනවා මම දැක්කා  මගේ හැම කොමඩු කිලෝ එකක්ම රුපියල් එකසිය හැත්තෑවට වැඩි මිලකට විකුණ ගන්න හැකියාව මට ලැබුණා. මටම කියලා වගා ඉඩම් නැහැ  මම බද්දට ගත්ත අක්කරයක භූමියෙන් කොමඩු කිලෝ 21000කට වැඩි ප්‍රමාණයක අස්වනු නෙලලා  අලෙවි කරලා තියෙනවා. මේ වගාවේ තව අවසාන මුරේ අස්වැන්න නෙලන්න  තියෙනවා. මම රුපියල් ලක්ෂ 40ක ආදායමක් මාස දෙකක් වැනි කෙටි කාලයක් තුල මේ කොමඩු වගාවෙන්  උපයා ගෙන තිබෙනවා.”

image 0bcd010b4b Iri News
image e4e454ada1 Iri News
image 8ab2a18057 Iri News
image dd755dac44 Iri News
image 19b724dac2 Iri News
image 5181717274 Iri News
image 40d4392221 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *