මෙවර සිංහල අලුත් අවුරුද්දේ ළිප ගිනි මෙලවීමේ නැකතට ළිප ගිනි දැල්වීමෙන් වළකින ලෙස දැනුම් දෙයි

රාජ්‍ය නැකැත් කමිටුවෙන් මෙවර ළිප ගිනි මෙලවීම සඳහා දී ඇති නැකැතට ළිප ගිනි දල්වන්න එපා යැයි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එම වේලාවට ගිනි දැල්වූවොත් රට ම ගිනි ගන්නා බව ද මෙවර ලබා දී ඇති ආන්දෝලනාත්මක අවුරුදු නැකැත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ආචාර්ය කැලුම් ගුණතිලක මහතා පවසනවා.

ජාතික ජ්‍යොතිෂවේදීන්ගේ සංවිධානය යටතේ පිහිටුවාගෙන ඇති ජාතික නැකැත් කමිටුව මගින් පසුගිය 05 වනදා බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමින් කැලුම් ගුණතිලක මහතා මෙලෙස පවසා තිබෙනවා.

රාජ්‍ය නැකැත් කමිටුව ලබා දී ඇති රෑ මැදියම් නැකැත් වෙනුවට පසු දින උදෑසන අවුරුදු නැකැත් යෝජනා කළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් පිරිසක් ද රාජ්‍ය නැකැත් කමිටුව තුළ සිටින බව පැවසූ ඒ මහතා එම පිරිස ගෙන්වා කරුණු විමසා රාජ්‍ය නැකැත් කමිටුව ලබා දී ඇති අවුරුදු නැකැත් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස සංස්කෘතික කටයුතු ඇමතිවරයාගෙන් සහ සංස්කෘතික කමිටුවේ අධ්‍යක්ෂවරියගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කර සිටියා

යම් ලෙසකින් අවුරුදු නැකැත් සංශෝධනය නොකෙරෙන්නේ නම්, රාජ්‍ය නැකැත් කමිටුව ඉදිරිපත් කර ඇති අශාස්ත්‍රීය අවුරුදු නැකැත් වෙනුවට ශාස්ත්‍රානුකූලව ඉදිරිපත් කරන විකල්ප නැකැත් සඳහාද රාජ්‍ය පිළිගැනීමක් ලබා දී ඒ සඳහා ද සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු යොදන ලෙස ඉල්ලා සිටින බව කැලුම් ගුණතිලක මහතා පවසනවා.

එවිට ජනතාව වැඩි වශයෙන් පිළිගන්නේ කවුරුන් ඉදිරිපත් කරන නැකැත් දැයි බලා ගැනීමට හැකිවන බව ද ආචාර්ය ගුණතිලක මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *