නිල් කටරොළුවලින් ඩොලර් හොයයි – කිලෝ එකකට රුපියල් 5000කට අධික මුදලක් ලැබෙයි

නිල් කටරොළු මල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වනවිට යුරෝපය ඇතුළු ජාත්‍යන්තර වෙළෙඳපොලෙහි ඉහළ ඉල්ලුමක් පවතී.

විශේෂයෙන් නිල් කටරොළු මල් වේලා ඉන් සකසා ගන්නා නිල් කටරොළු තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉහළ මිලකට අලෙවි වේ.

පිලිපීනය, තායිවානය වැනි රටවල් ද මේ වනවිට මෙම වගාවට යොමු වී ඇති අතර අප රටේ වළස්මුල්ල ඔමාරගම ගමේ කාන්තාවන් 60 දෙනෙකු පමණ මේ වනවිට නිල් කටරොළු මල් වගාවට අවතීර්ණව සිටී.

වේලන ලද නිල් කටරොළු මල් පුද්ගලික සමාගමක් මඟින් විදේශ රටවලට අපනයනය කරන අතර ඔවුන්ට එමඟින් විශාල ආදායමක් මාසිකව ඉපයීමට හැකි වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (10)  ඔමාරගම ගමේ නිල් කටරොළු මල් වගාව හා සැකසුම් මධ්‍යස්ථානය නිරීක්ෂණයට සහභාගි විය.

වේලන ලද නිල් කට්රොළු මල් කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 5,000ක් වැනි මිලකට අලෙවි කරන අතර වේලන ලද නිල් කටරොළු මල් කිලෝ ග්‍රෑම් එකක් සෑදීම සඳහා අමු මල් කිලෝ ග්‍රෑම් 10ක් අවශ්‍ය බව සඳහන් වේ.

මෙම මල් වියැලීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ව්‍යාපෘතියක් මඟින් අවශ්‍ය අරමුදල් සැපයීමට හැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පිලිපීනය, තායිලන්තය වැනි රටවල මෙම නිල් කටරොළු මල් තේ පානය කරන්නේ රාත්‍රී ආහාරයෙන් පසු පැණි හෝ දෙහි යුෂ සමගය.

එමෙන්ම නිල් කටරොළු බත්, කේක්, ජෙලි, සරුවත්, පෑන් කේක් වැනි ආහාර සඳහා ස්වභාවික ආහාර වර්ණකයක් ලෙසට ද නිල් කටරොළු මල් භාවිතා කළ හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *