රාජ්‍ය සේවකයින්ට නොමිලේ දුන් දුම්රිය ප්‍රවේශ පත්‍ර කපා හරියි

රාජ්‍ය සේවකයන් සදහා දුම්රිය ආසන වෙන්කරගැනීමේ බලපත්‍ර (වරන්ට්) ලබාදීම සියයට අසූවකින් අඩු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව හා ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මේ අනුව රාජ්‍ය සේවා බලපත්‍ර සියයට විස්සක් දුම්රිය කවුන්ටර්වලින් ලබාදීමත් සියයට අසූවක් මාර්ග ගතව වෙන්කිරීමත් සිදුකරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.

මීට අමතරව රාජ්‍ය සේවකයකු වරන්ට් මගින් වෙන්කර ගන්නා සෑම ආසනයක් සඳහාම වෙන්කරගනු ලබන රාජ්‍ය සේවකයාගෙන් ප්‍රවේශපත්‍ර ගාස්තුවෙන් සියයට පහක මුදලක් අය කරගැනීමට ද ප්‍රවාහන අමාත්‍යංශය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වෙත උපදෙස් දී ඇත.

දුම්රිය වාණිජ අධිකාරී චන්ද්‍රසේන බණ්ඩාර විසින් මේ සදහා පිඹුරුපත් සකස් කර තිබෙන බවත් මෙය රාජ්‍ය සේවකයන් සඳහා ලබාදී ඇති සහන කප්පාදු කිරීමක් බවත් මීට තම සංගමය දැඩි විරෝධයක් පළකර සිටින බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසීය.

දුම්රිය ආසන මාර්ගගතව සිදුකිරීමේදී පවා බොහෝ මගීන් පිරිසකට අපහසුතාවකට ලක්වීමට සිදුව තිබෙන බව ද රාජ්‍ය සේවකයන්ට නිදහසේ දුම්රිය ස්ථානයකට ගොස් ආසන වෙන්කර ගැනීමේ හැකියාවද මෙමගින් අඩාල වනු ඇති බව ද සභාපතිවරයා කීවේය.

මාර්ගගතව දුම්රිය ආසන වෙන්කිරීමේදී මාෆියාවක් ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය සේවා බලපත්‍ර ද මාර්ගගතව ලබාදීම තුළින් රාජ්‍ය සේවකයන්ට ලැබුණු සුළු සහනය හෝ අහිමි වනු ඇති බවත් හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ජගත් ඉදිපොළගේ සඳහන් කළේ රාජ්‍ය සේවා බලපත්‍ර ඔස්සේ දුම්රිය ස්ථාන මගින් දුම්රිය ආසන ලබාදීමේදී අක්‍රමිකතා සිදුවන බවට ලද පැමිණිලි මත ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විසින් රාජ්‍ය සේවා ආසන වෙන්කර ගැනීම් මාර්ගගතව සිදුකරන ලෙසට උපදෙස් දී තිබෙන බවය. ලබන 14 වැනිදා සිට මෙම ක්‍රමවේදය ඔස්සේ ආසන වෙන්කර ගැනීම අනිවාර්ය වන බව ද හෙතෙම කීය.

එලෙස ආසන වෙන්කර ගැනීමේදී මාර්ගගතව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස රාජ්‍ය සේවා බලපත්‍ර අංකය ඇතුළු තොරතුරු නිවැරදිව ඇතුළත් කළ යුතු බවත් ඒ අනුව ලැබෙන ඕටීපී අංකය සමගින් දුම්රිය ස්ථානයකට ගොස් දුම්රිය ආසනය සඳහා ප්‍රවේශපත්‍රය ලබාගත යුතු බවත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *