බළන්ගොඩ නගරයේ පිහිටි සමුපකාර ඉන්ධන පිරවුම්හලේ ඩීසල්වලට ජලය මිශ්රවීමේ සිදුවිම සම්බන්ධව කළමනාකාරවරයකු සහ ඉන්ධන පොම්පකරුවන් පස්දෙනකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව බලන්ගොඩ සමූපකාර සමිතියේ සභාපති ජානක ඉලුක්තැන්න මහතා ඊයේ (14) පස්වරුවේ පැවසීය.
වාහන රැසක් අතරමඟ නතරවීම ගැන එම වාහන හිමියන් පොලිසියට සහ ඉන්ධන පිරවුම්හල පාලනය කරන බලන්ගොඩ සමුපකාර සමිතියට පැමිණිලි කර තිබිණි. ඩීසල්වලට ජලය මිශ්‍රව තිබීම හේතුවෙන් එම ඉන්ධනහලෙන් පෙරේදා (13) සවස ඩීසල් ලබාගත් බස් සහ ලොරි රථ කිහිපයක් අතරමඟ නතරවීම ගැන වාහන හිමියන් බළන්ගොඩ පොලිසියට ද පැමිණිලි කර තිබිණි. මෙම ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන පුරවන ලද පුද්ගලික බස් රථ දෙකක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් එය අලුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා එම බසය ඉන්ධන පිරවුම්හලට ගෙනැවිත් දමා තිබේ. එම බස් රථවල අලාභ හානි සකස් කර ගැනීමට රුපියල් හතළිස් නවදහස බැගින් ගෙවිමටද සමුපකාර සමිතිය තීරණය කර තිබේ. මෙම පිරවුම්හලේ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පෙරේදා (13) දා රාත්‍රියේ අයි. ඕ. සී. සමාගමේ නිලධාරීන් කටයුතු කළ බව බලන්ගොඩ පොලිසිය පවසයි. එම ඩිසල්වල ජලය ඇති බවට එහිදී අණාවරණය වූ අතර, ඒ හේතුවෙන් එම ඉන්ධනහලෙන් ඩීසල් නිකුත් කිරීම පැය කිහිපයකට නතර කිරීමට කළමනාකාරීත්වය කටයුතු කරනු ලැබීය. ඩිසල් ලබාගත් වාහන අතරමඟ නතර වූ පසු එම වාහන වෙනත් වාහන මාර්ගයෙන් ඉන්ධන පිරවුම්හල වෙත ඇදගෙන ඒමට වාහන හිමියන් කටයුතු කර තිබේ.
ඉන්ධනහල අයත් සමුපකාර සමිතියේ කළමනාකරු වෙත ද වාහන හිමියන් පැමිණිලි කර ඇත. බළන්ගොඩ සමුපකාර සමිතියට අයත් මෙම ඉන්ධන පිරවුම්හල් කළමනාකාරිත්වය පුද්ගලික ඉන්ධන පිරවුම්හල් ජාලයක් සහිත ආයතනයක් විසින් සිදු කරයි. බළන්ගොඩ සමුපකාර සමිතියේ සභාපති ජනක ඉල්ක්තැන්න මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ ඩීසල්වලට ජලය මිශ්‍ර වී ඇති බවට පිළිගන්නා බවයි. පසුගිය දිනවල ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරිත්වයේ වෙනසක් සිදුකළ බවත් ඒ හේතුවෙන් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සැකයක් මතුවෙන බවත් ඔහු පැවසීය. ඩීසල්වලට මිශ්‍ර වී ඇති ජලය පුද්ගලික සමාගමේ නිලධාරින් විසින් ඉවත් කළ පසුව නැවත මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් නිකුත් කිරීම ආරම්භ කරන බව ද පැවසීය. බළන්ගොඩ සමුපකාර සමිතියේ සභාපතිවරයා ඊයේ (14) පස්වරුවේ තම පෞද්ගලික වාහනයට ඩීසල් ගසා මේ වන විට ජලය ඩීසල්වලට මිශ්‍ර වී නැති බව පාරිභෝගිකයන්ට පෙන්වූයේය. බළන්ගොඩ පොලිසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවැසුවේ මේ සම්බන්ධයෙන් වාහන හිමියන් තිදෙනකු පැමිණලි කර ඇති බවටත් පරික්ෂණ ආරම්භ කර ඇති බවත්ය.