ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාවලියේ දී තවත් බිහිසුණු ඖෂධ වංචාවක් පිළිබදව කරුණු අනාවරණය වී තිබේ.
මෙම අනාවරණය සිද්ධ වී ඇත්තේ රිටක්සිමැබ් [rituximab injection] නමැති පිළිකා මර්දන එන්නත සම්බන්ධයෙනි.
පිළිකා රෝගීන් සදහා ලබා දෙන රිටක්සිමැබ් නමැති එන්නත තුළ “මොනොක්ලෝනල් ඇන්ටි බොඩි” [Monoclonal Antibody] නමැති ප්‍රතිදේහය අනිවාර්යයෙන්ම අන්තර්ගතවිය යුතුව තිබුනත්, අදාල සැපයුම්කරු ලබා දී තිබෙන රිටක්සිමැබ් තුළ එම ප්‍රතිදේහය අන්තර්ගත නොවන බව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මගින් තහවුරු කර ඇති බව පැවසේ.
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය කමිටුවක් විසින් සිදු කරන ලද පර්යේෂණයෙන් තහවුරු වී ඇත්තේ, මෙකී රිටක්සිමැබ් නමැති එන්නත තුළ කිසිදු ඖෂධීය ගුණයක් නැති, වතුර වැනි නිකංම නිකං දියරයක් පමණක් අඩංගු වන බවයි.
රිටක්සිමැබ් නමැති මෙම පිළිකා එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයට සැපයීම සිදුකර තිබෙන්නේද ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් නමැත ඖෂධය සැපයූ සමාගම විසිනි.
රිටක්සිමැබ් නමැති එන්නතෙන් මාත්‍රා 2200 ක් අදාල සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා ඇති අතර, මේ වන විටත් එම එන්නත් 2200 න් එන්නත් 1200 ක් රෝගීන්ට ලබා දී ඇති බව ද පැවසේ.
ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවතින නඩුව ඊයේ දිනයේ දී විභාගයට ගත් අතර, මෙම අනාවරණයන් සිදු වූවේ ඒ අතරතුරේදී ය.