තර්ඩ් පාටි’ වාහනවලින් අනතුරු වන වින්දිතයන්ට උසාවි නොයා ලක්ෂ 5ක් දක්වා රක්ෂණ වන්දියක් දෙන්න තීරණය කරයි

මෝටර් වාහන අනතුරුවලට මුහුණපාන තුන්වන පාර්ශ්වීය වින්දිතයන්ට හෝ ඔවුන්ගේ නීත්‍යනුකූල උරුමකරුවන්ට අධිකරණ ක්‍රියාදාමයකින් තොරව රුපියල් 500,000ක් දක්වා උපරිමයකට යටත්ව වන්දි ලබාදීමේ විකල්ප ක්‍රමවේදයක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ අනෙකුත් පාර්ශ්වකාර ආයතන හා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කොට මෙම විකල්ප ක්‍රමවේදය හඳුන්වාදී තිබෙන අතර එය පසුගියදා (01) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසයි.

මේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වුවද දැනට පවතින නීති පද්ධතිය යටතේ වන්දි ලබා ගැනීමට ඇති අයිතියට කිසිදු බලපෑමක් සිදුනොවන බව පෙන්වාදෙන ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ ආයතන විසින් සානුකම්පිත පදනම යටතේ මෙම වන්දි ලබාදීම සිදු කරන බව ද කියා සිටී.

මෝටර් වාහන අනතුරකින් මරණයට හෝ ස්ථිර අබලතාවකට පත්වන පදිකයන් සහ පාපැදිකරුවන් මේ යටතේ සුදුසුකම් ලබන අතර අදාළ අනතුර සිදුකළ මෝටර් වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ ආයතනය විසින් අදාළ වන්දි මුදල පිරිනමයි. ඒ අනුව අදාළ අනතුර සිදුකළ මෝටර් වාහනයට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි සාමාන්‍ය රක්ෂණ ආයතනයකින් නිකුත් කරන ලද අවම වශයෙන් තුන්වන පාර්ශ්වීය මෝටර් වාහන රක්ෂණයක් තිබීම අනිවාර්ය වේ.

ඒ අනුව වන්දි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කළ 2024 අංක 03 දරන චක්‍රලේඛයේ අඩංගු අයැදුම්පත සම්පූර්ණ කර එහි නියම කර ඇති ලේඛන ද සමඟ අදාළ අනතුර සිදුකළ මෝටර් වාහනය රක්ෂණය කර ඇති රක්ෂණ ආයතනය වෙත මරණය හෝ ස්ථිර අබලතාව සිදුවී මාස හයක් ඇතුළත අයැදුම් කළ යුතු බව ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

අදාළ වින්දිතයාට හෝ නීත්‍යනුකූල උරුමකරුවන්ට වන්දි ගෙවීම් සිදුකරන අතර මරණයකදී රුපියල් 500,000ක් ද ස්ථිර දුබලතාවකදී රුපියල් ලක්ෂ 500,000ක උපරිමයක් දක්වා ද අදාළ චක්‍රලේඛයෙහි සඳහන් සීමාවන්ට යටත්ව ගෙවීම් සිදුකරයි. මෙම වන්දි ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස මරණය හෝ අබලතා තත්ත්වයට පත්වීම මෝටර් වාහන අනතුරේ ප්‍රතිඵලයක් නිසා සිදුවිය යුතු වන අතර අනතුර සිදු වී මාස 12ක් ඇතුළත මරණය හෝ ස්ථිර අබලතාවට පත්වීම හෝ පත්වීම ආරම්භ වීම සිදුවිය යුතු බව ද එම කොමිෂන් සභාව කියයි.

ඊට අමතරව මරණය හෝ ස්ථිර දුබලතා තත්ත්වයට පත්වීමෙන් මාස 6ක් ඇතුළත අදාළ රක්ෂණ ආයතනයට වන්දි අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම අදාළ පාර්ශ්වයන් විසින් සිදු කළ යුතුවේ. කෙසේ වුවද වින්දිතයකුට හෝ නීත්‍යනුකූල උරුමකරුවකුට මෙම ක්‍රමය යටතේ ලබාගත් වන්දි මුදල ප්‍රමාණවත් නොවන අවස්ථාවක, නිසි වන්දි මුදලක් ලබා ගැනීම සඳහා අධිකරණයක් වෙත නඩුකරයක් ගොනු කිරීමේ හැකියාව පවතින බව ද ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *