අධික රස්නය නිසා පුද්ගලයෙක් බිම ඇද වැටී මිය යයි


අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වේ.

මෙම පුද්ගලයා පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇද වැටී ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු 72 හැවිරිදි සිව්දරු පියෙකි.

මෙරටට බලපා ඇති එල්නීනෝ තත්ත්වයත් සමඟ සිරුරට දැනෙන උණුසුම පවතින්නේ ඉහළ මට්ටමක වන අතර අධික උණුසුමින් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරා ජනතාවට අනතුරු ඇඟවීය.

මේ අතර දින ගණනක් පැවති වියළි කාලගුණය නිමාකරමින් ප්‍රදේශ කිහිපයකට ඊයේ (21) සිට වැසි ඇදහැලෙන අතර අද (22) පස්වරුවේ කොළඹට ධාරාණිපාත වැසි ඇදහැලුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර මහඔය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 133.5කි.

මෙරටට බලපැවැත්වුණු වියළි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර රැසක ජල මට්ටම පහළ බැස ඇති බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජලය සැපයීමට සිදුව ඇත්තේ මුර ක්‍රමයකටයි.

කළුතර,කුරුණෑගල,මහනුවර, මාතලේ, නුවරඑළිය, මාතර, මොනරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශ 25කට මේ වන විට මුර ක්‍රමයක් යටතේ ජලය සැපයේ.

නමුත් මෙම වැසි සහිත තත්ත්වය දින පහක් පමණ පැවතී යළි උණුසුම් තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *