පොලිස් ලොක්කන්ට මින් ඉදිරියට තම ගමේ හෝ බිරිදගේ ගමේ සේවය කරන්න බෑ – පොලිසිය තීරණය කරයි

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ පොලිසියට, බිරිඳගේ ගමේ පොලිසියට හෝ ගමට ආසන්නතම පොලිසියට සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත.

මේ අනුව සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, අංශභාර ස්ථානාධිපතිවරුන්, සිට කොස්තාපල්වරුන් දක්වා තම ගමේ, බිරිඳගේ ගමේ හෝ ගමට ආසන්නතම ස්ථානයක සේවය කරන්නේ ද යන්න පූර්ණ අධ්‍යනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ කමිටුවක් පත් කර ඇත..

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස පත්කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

පාතාලයේ හිස ඔසවීම පාලනය කර ගැනීමට නොහැකි වූ පොලිසි ස්ථාන හැට දෙකක ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා පොලිස්පතිවරයා විසින් ගිය සතියේ පැවති සාකච්ඡාවකදී පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ පදිංචි නිසා පාතාල මර්දනයට පියවර නොගන්නා බව හෙළි වී ඇත.

පොලිස්පතිවරයා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියදී පසුගිය වසරේ අග භාගයේ දී පාතාල සාමාජිකයන් 1092 කගේ දත්ත වාර්තාවන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමුකර’ නීතිවිරෝධී දේපළ හා වත්කම් අත්පත් කරගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කර ඇත.

එහෙත් පොලිසි ස්ථානාධිපතිවරුන් රැසක් එම නියෝග කිසිවක් ක්‍රියාත්මක කර නැති බව හෙළිව ඇත.

මෙයට මූලික හේතුව බවට හෙළි වී ඇත්තේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කිරීම නිසා පාතාල ක්‍රියාකාරකම් මර්ධනයට යොමුවී නොමැති බවය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මේ සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුව පත්කර ඇත.

එම කමිටු වාර්තාවට ලද වහාම තම ගමේ හෝ බිරිඳගේ ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කරන සියලු දෙනාටම ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *