මාසික වැටුප ලක්ෂ 09 ට සිය ගණනක් ලාංකිකයෝ රුසියානු හා යුක්රේන හමුදාවන්ට බැදෙයි

ආර්ථික අර්බුදයෙන් හෙම්බත් වී සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගණනක්, ඉහළ වැටුපක් ලබා ගැනීමේ අරමුණ ඇතිව, රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධ වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල්ජසීරා වාර්තා කරන ආකාරයට, දැනටමත් යුද්ධයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු මියගොස් තිබේ.

ඉන් දෙදෙනෙකු රුසියානු හමුදා හා සම්බන්ධ වී ඇති අතර, තිදෙනෙකු යුක්රේන හමුදා හා සම්බන්ධ වී තිබේ.

යුද්ධය ආරම්භ වූ මුල් අවස්ථාවේ දී ම ජනාධිපති සෙලෙන්ස්කි, යුක්රේනය වෙනුවෙන් සටන් වැදීම සදහා පැමිණෙන්නයි තරුණ ප්‍රජාවට විවෘතව ආරාධනා කළේ ය. එසේ පැමිණෙන සැමට, හොද වැටුපක් සහ යුක්රේන පුරවැසිභාවය ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

කෙසේ වෙතත් යුක්රේනය වෙනුවෙන් සටන් වදින අය සදහා කොපමණ මුදලක් ගෙවන්නේ ද යන්න අල්ජසීරා පුවත්සේවය වාර්තා කර නොතිබුනද, රුසියානු හමුදා හා සම්බන්ධ වී රුසියාව වෙනුවෙන් සටන් වදින හමුදා නිළධාරියෙකුට රුපියල් ලක්ෂ නමයකට ආසන්න මාසික වැටුපක් හිමිවෙන බව එකී පුවත්සේවය වාර්තා කරයි.

අල්ජසීරා වාර්තා කරන ආකාරයට, ණය බරින් පීඩිත, හමුදා පුහුණුව ලැබූ සහ හමුදාවෙන් විශ්‍රාම ගිය සිය ගණනක් ලාංකිකයන් රුසියානු යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටියි.

මේ සම්බන්ධයෙන් අල්ජසීරා පුවත්සේවය වාර්තා කර තිබෙන ලිපිය පහත සබැදිය ඔස්සේ කියවිය හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *