එළෙඹන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අස්වැසුම හෝ වෙනත් ප්‍රතිලාභ නොලබන ඉතා දිළිඳු පවුල් විසිහත්ලක්ෂ පනස්දහසකට සහල් කිලෝග්‍රෑම් විස්ස (20kg) බැගින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය. දිළිඳු පවුල් සඳහා සහල් ලබා දෙන්නේ අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන යටතේ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජූලි මාසය වනවිට පවුල් ලක්ෂ විසිහතරකට අස්වැසුම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ප්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය මඟින් රුපියල් මිලියන විසිදහසක මුදලක් වෙන්කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි රුපියල් මිලියන විසිදහසක මුදලක් ප්‍රාදේශීය සංවර්ධනය සඳහා වෙන්කර ඇති අතර ඉන් රුපියල් මිලියන දසදහසක් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි හා තවත් රුපියල් මිලියන දසදහසක මුදලක් අඩුම පහසුකම් පවතින කඳුකර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සංවර්ධනය සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් විමධ්‍යගත අය වැය වශයෙන් වැය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුරයේ දි පෙරේදා (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නැවත වරක් ආර්ථික අර්බුදයකට ගියහොත් වසර පහළොවකට මෙහා නැවත ආර්ථිකය ගොඩනැඟීමට කිසිදු විටෙක හැකියාවක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.