ගුවන් හමුදාවේ භටයින් 27,000 ,18000 ට බස්සයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දැනට සිටින විසිහත්දහසක් වූ භට පිරිස දහඅටදහසක් දක්වා අඩු කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එම ක්‍රියාවලිය 2030 වර්ෂයේදී සිදු කර අවසන් කරන බව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර් ෂල් සම්පත් වික්‍රමරත්න පැවසීය.

ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල මූලස්ථානයේදී ඊයේ (10 වැනිදා) පැවැත්විණි.

එහිදී ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ප්‍රකාශ කළේ 2030 වනවිට තාක්ෂණිකව සුදුසුකම් ඇති ඕනෑම ආරක්ෂක අභියෝගයකට මුහුණ දීමට සමත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම අරමුණු කර සිටින බවය.

ගුවන් භාටයෙකුගෙන් ඉටු කර ගැනීමට හැකි කර්තව්‍ය ඩ්‍රෝන වැනි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් සිදු කරන බවත් ඒ හරහා සුළු භට පිරිසකින් අවශ්‍ය ක්‍රියාදාමය කළ හැකි වන බවත් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී සඳහන් කළේය.

ඊට අවශ්‍ය සැලසුම් මේ වන විට සිදුකරමින් පවතින බවද ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර් ෂල් සම්පත් වික්‍රමරත්න එහිදී පෙන්වා දුන්නේය.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනය ගාලු මුවදොර පෝට් සිටි නගරයේ ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 02 වැනිදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා පැවැත්වේ.

“කලම්බු එයර් ෂෝ ඇන්ඩ් ඩිෆෙන්ස් එක්ෂිබිෂන් 2024” නමින් එම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.

ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ගුවන් හමුදා මූලස්ථානයේදී ඊයේ (10) පැවැත්විණි.

එහිදී අදහස් දක්වමින් ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් පවත්වන ලද ප්‍රදර්ශනවලට සමාගාමීව මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවට බවත් එහි ගුවන් සංදර්ශන සදහා තමා සහභාගී වන බවත්ය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, ගුවන් සංදර්ශන හා තාක්ෂණික වෙළෙඳ ප්‍රදර්ශනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු අසේල ජයසේකර යන මහත්වරු ඇතුළු ගුවන් භට පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *