හක්ක පටස් දී හකු පුපුරුවා ළදරු ඇත් පැටවා මරා දමයි

නින්දිත අපරාධකරුවෙක් විසින් සත්ත්ව ඝාතනය සඳහා යොදා ගත හැකි අතිශය ම්ලේච්ඡම ක්‍රමය වන හක්කපටස් නැමැති කුඩා ආහාරවල සඟවා ඇති කුඩා බෝම්බයක්  අනුභව කිරීමට ගිය ළදරු අලි පැටියෙක් අපා දුක් විඳ මිය ගොස් ඇත.

අවුරුදු දෙක හමාරක් පමණ වයස ඇති මේ ළදරු අලි පැටියා පොලොන්නරුව සිංහපුර ප්‍රදේශයේ දී සිය රෑනෙන් මග හැරී තිබේ. කුසගින්නේ ඉබාගාතේ ගිය අලි පැටවා  මෙම මාරක බෝම්බය අනුභව කිරීමෙන් පසු මුඛය කුඩු වී ගොස් වතුර උගුරක්වත් බී ගත නොහැකිව වැලිකන්ද යුද හමුදා කඳවුරට අයත් අඹ වගා කරන කොටසේ වැටී සිටියදී හමු වී ඇත.

ඒ වනවිටත් මේ ළදරු සතාට පණ තිබුණ බවත් ඔහුව ප්‍රතිකාර සඳහා වැලිකන්ද වනජිවි කාර්යාලයට රැගෙන ගිය බවත් වාර්තා වේ.

වනජීවි කාර්යාලයට රැගෙන ඒමෙන් අනතුරුව එම අලි පැටියා 17 වෙනිදා  මියගිය බව වැලිකන්ද අඩවි ආරක්ෂක  සී.ඒ. වනසිංහ  අප කළ විමසීමකදී පැවසීය.

අනන්ත දුක් විඳ වන සතුන් මරණයට පත් කරන මේ හක්කපටස් අපරාධයට සම්බන්ධ වනජීවී අපරාධකරුවන්ට එරෙහිව නීතිය වඩාත් දැඩිව ක්‍රියාත්මක විය යුතු බවට වන ජීවී සංරක්ෂණ අංශ කලක සිට අවධාරණය කරමින් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *