ඉරාන ජනපතිගේ ලංකා සංචාරයට ඇමරිකාවේ විරෝධය -ශ්‍රමිකයින් අමාරුවේ දමමින් ඊශ්‍රායලය ගුවන් ගමන් නවත්වයි

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ සංචාරය සම්බන්ධව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ නිලධාරීන් ශ්‍රී ලංකා රජයට විරෝධය පළකර ඇත

මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (17 වැනිදා) සහ පෙරේදා (16 වැනිදා) පැමිණ ඇති ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙලෙස තම විරෝධය පා ඇතැයි ඉහළ පෙළේ ආරංචිමාර්ග සනාථ කළේය.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය පිළිබඳව පූර්ව ආරක්ෂක කටයුතු සොයා බැලීම සඳහා ඉරාන ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් ඊයේ (17 වැනිදා) දිවයිනට පැමිණ සිටියහ. ඉරාන ජනාධිපතිවරයා රැගත් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ උමා ඔය දක්වා රැගෙන ගොස් නැවත එදිනම (24 වැනිදා) රටින් පිටව යාමට නියමිතව ඇත.

ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයට ආරක්ෂාව සැපයීම සඳහා ගත යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධව වි​ශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 වැනිදා) පැවැත්විණි. මෙයට සමගාමීව මත්තල ගුවන් තොටුපොළ වෙත පූර්ව ආරක්ෂක සැලසුම් සකස් කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබිණි.

ඉරාන ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව මෙන්ම ඇමරිකානු එෆ්.බී.අයි. ඔත්තු සේවාව දැඩි අවධානයෙන් සිටින බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට සමගාමීව මෙරට සියලුම බුද්ධි ඒකක ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරයේ ආරක්ෂක කටයුතු සඳහා එක්වන බවත්, යුද හමුදා කමාන්ඩෝ ඒකකය ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණ’ කළ විමසුමකදී පැවැසීය.

2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා එක්වූ මොහොතේදී ඉරාන ජනාධිපතිවරයා සමග උමා ඔය ව්‍යාපෘතිය ගැන කළ සාකච්ඡාවකදී ඉරාන ජනාධිපතිවරයා මෙරට සංචාරයට පැමිණීමට කැමැත්ත පළකර ඇත. එහිදී මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය පිළිගත් ඉරාන ජනාධිපතිවරයා ඉකුත් ජනවාරි මාසයේදී මෙම සංචාරය ගැන දැනුම් දී තිබිණි. ඒ අනුව ලබන 24 වැනිදා ඉරාන ජනාධිපතිවරයා මෙරටට පැමිණීම ගැන ස්ථීර කර ඇත. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයට පැවැසුවේ මෙම සංචාරය ගැන නිශ්චිතව විදේශ අමාත්‍යාංශයට තහවුරු කර නොමැති බවය.

උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියට මුල්ගල තැබු​ණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේය. එම කාලයේ ඉරාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අහමදිනේජාඩි එම අවස්ථාවට එක්වීම විශේෂත්වයක් විය.

අරගල සමයේදී සහ ආර්ථිකය කඩා වැටීමත් සමග ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදුන් අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉරානයට තේ කොළ අපනයනය කරන ලදී. ආර්ථික අර්බුදයේදී ඉරානය ලබාදුන් සහයෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගය කළේ ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හමුවූ අවස්ථාවේදීය.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *