දරු දැරියන්ට බෙදන්න යන සහල් පරිභෝජනයට සුදුසු නෑ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හෙළි කරයි

“නිරෝගී ක්‍රියාශීලී දරු පරපුරක්” බිහි කිරීමේ අරමුණ ඇතිව ලෝක ආහාර වැඩසටහනට අනුව දරු දැරියන් වෙත බෙදා දීමට නියමිත ඇතැම් සහල් තොග මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

වේයන්ගොඩ සහල් ගබඩාවේ ගබඩා කර තිබූ සහල් සාම්පල 100කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා විසින් මේ බව තහවුරු කර ඇතැයි ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව අවම කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයට අනුව මෙරට රජයේ පාසල් 9134 ක සහ දරුවන් 100 ට අඩු පාසල් මෙම වැඩසටහන සඳහා තෝරා ගෙන ඇත. ඉදිරි පාසල් වාරය ආරම්භ වීමෙන් අනතුරුව පරිප්පු මෙට්‍රික් ටොන් 378.835 ක්, සන්ෆ්ලවර් පිසින තෙල් මෙට්‍රික් ටොන් 412.08 ක්, රටඉඳි මෙට්‍රික් ටොන් 300 ක් පාසල් වෙත බෙදා දීමට නියමිතව ඇත. මෙම වැඩසටහන සඳහා රජය විසින් රුපියල් මිලියන 1.6 ක් වෙන් කර ඇත.

මෙම වැඩසටහනට අනුව මෙරටට ගෙන්වන ලද ආහාර වේයන්ගොඩ පිහිටි රජයේ ගබඩාවේ ගබඩා කර තිබී ඇත. එම ගබඩාවේ ගබඩා කර තිබූ සහල් මෙට්‍රික් ටොන් 735ක් පාසල් වෙත බෙදා හැරීම ඉකුත් 19 වෙනිදා ආරම්භ කර ඇත.

පාසල් වෙත බෙදා හැර ඇති එම සහල්වල ගැටලු පවතින බවට පාසල් බලධාරීන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුවන් දැනුවත් කිරීම සිදු කර ඇත. ඒ අනුව වේයන්ගොඩ පිහිටි රජයේ ආහාර ගබඩාව පරීක්ෂා කිරීමටත් ආහාර සාම්පල් ලබාගෙන පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මෙසේද පැවසීය.

“රජයේ පාසල් වෙත ලබා දී ඇති සහල්වල කිසියම් ගැටලු

කාරී තත්ත්වයක් ඇති බවට අපිට මුලින්ම වාර්තා වුණේ උතුරු ප්‍රදේශයෙන්. පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකින්ද තොරතුරු වාර්තා වුණා. ඒ අනුව තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වේයන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු කණ්ඩායමක් මෙම ආහාර ගබඩා කර ඇති වේයන්ගොඩ ගබඩාව පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත්තේ.

මෙම පරීක්ෂාවේදී රජයේ රස පරීක්ෂකවරයා විසින් ලබා දී තිබූ උපදෙස් අනුව ගබඩාවේ තිබූ ආහාර සාම්පල 100 කට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. එම සාම්පල පරීක්ෂා කර ඇති රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව මේ වන විට අපට ලැබී තිබෙනවා. එම වාර්තාවලට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් යවන ලද සාම්පලවලින් 50% කට වැඩි ප්‍රමාණයක ආහාර පරිභෝජනයට ගත නොහැකි බව තහවුරු වී තිබෙනවා. එම තත්ත්වය මත මෙම ආහාර පාසල් දරුවන්ට ලබා දීමට පෙර ඒ සම්න්ධයෙන් විධිමත්ව සොයා බැලීමක් කරන ලෙස සියලුම විදුහල්පතිවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. පාසල්වලට ලැබී ඇති ආහාරවල කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ බව ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කර උපදෙස් ලබා ගන්නා ලෙසද අපි ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ කරුණු නොසලකා හැර කිසියම් පාසලක දරුවන්ට ආහාර ලබා දී ඇත්නම් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ දරුවාට ලබා දෙන ආහාර වේල සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. එසේ නොමැතිව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර දරුවන්ට ලබා නොදෙන ලෙසත් අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *