මෝටර් ක්‍රෝස් ධාවකයන්ට නඩු පැවරිය නොහැකි බව පොලිසිය පිළිගනියි


පුද්ගලයන් හත් දෙනකුට දිවි අහිමි කර තවත් 19 දෙනකුට බරපතළ තුවාල සිදුකරමින් දියතලාව නරියාකන්ද (ෆොක්ස්හිල්) මෝටර් ක්‍රෝස් තරගාවලියේදී ඊයේ (21 ) සිදුවූ අනතුරට අදාළව අත්අඩංගුවට ගන්නා මෝටර් රථ ධාවකයන් සම්බන්ධයෙන් මෝටර් රථ ආඥා පනත යටතේ හෝ අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට ප්‍රතිපාදන නොමැති බව පොලිසිය සඳහන් කරයි.

මේ හේතුවෙන් සැකකාර මෝටර් රථ ධාවකයන් දෙපල සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදුකර ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ගන්නා බව බදුල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

එහෙත් ප්‍රේක්ෂකයන්ගේත් තරග සංවිධායකයන්ගේත් ආරක්ෂාව තහවුරු නොකිරීම, ධාවන පථය අනාරක්ෂිත ලෙස සකස් කර තිබීම, අනතුරට තවත් එක් හේතුවක් බවට නිරික්ෂණය වී ඇති හෙයින් තරග සංවිධායකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැණෙන බව එම නිලධාරියා සඳහන් කළේය.

දියතලාව ෆොක්ස්හිල් මෝටර් ක්‍රෝස් තරගාවලිය වසර පහකට පසු ඊයේ (21 ) සංවිධානය කර තිබුණේ ශ්‍රීලංකා යුද හමුදා විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ක්‍රිඩා සංගමය එක්වය.

තරග වට 27 කින් සමන්විතව තිබූ මෙම මෝටර් ක්‍රෝස් තරග සඳහා මෝටර් රථ 151 ක් සහ යතුරුපැදි 120 ක් ඉදිරිපත් කර තිබිණි.

මෙම තරගාවලියේ එන්ජින් ධාරිතාව 1500 ඛාණ්ඩයේ මෝටර් රථ තරගය පෙරේදා දහවල් 02.40 ට පමණ සිදුවූ අතර මෙම තරගය අතරතුර මෝටර් රථයක් පෙරළී අනතුරට පත්ව තිබුණි. ඒ ධාවන පථයේ වම් පසය. කෙසේ නමුත් දෙවන වටයේ ද තරග කළ මෝටර් රථ කිහිපයක්ම ධාවන පථයට වම් පසින් ගමන් කර තිබුණු අතර විශාල දූවිලි දුමාරයක්ද ඒ හේතුවෙන් ඇතිවි තිබුණී.

ධාවන පථයට වම් පසින් ගමන් ගත් තවත් මෝටර් රථ දෙකකින් එක් මෝටර් රථයක් එකවරම ප්‍රේක්ෂකාගාරය දෙසට කඩා වැදීමෙන් ඒ අසල සිටි පුද්ගලයන් හත් දෙනකු මියගොස් 19 දෙනකු තුවාල ලබා දියතලාව හා බදුල්ල රෝහල් වෙත ඇතුළත් කර තිබුණී.

මෙම අනතුරට අදාළව මෝටර් රථ දෙකක ධාවකයන් දෙපළක් දියතලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ දියතලාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මෙම අනතුරින් ජීවිත අහිමිවුවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් රක්ෂණ වන්දි ප්‍රදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවට මෝටර් ක්‍රෝස් තරගයේ සංවිධායකවරුන් තමාට දැනුම් දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර අරුණට පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *