උණවටුන වෙරළ තීරයේ සිටි රුසියානු ජාතික යුවළකගේ අත්බෑගයේ තිබූ ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, ස්මාට් ජංගම දුරකථන 02ක්, අත් ඔරලොසුවක් සහ ඩොලර් 70 ක් සොරකම් කළ සංචාරක මගපෙන්වන්නන් දෙදෙනෙකු පෙරේදා (30) අත්අඩංගුවට ගත් බැව් හබරාදූව පොලිසිය පවසයි.
සොරකම් කරනු ලැබූ භාණ්ඩ වල වටිනාකම රුපියල් 585 000 ක් බවද පොලිසිය පවසයි. අත්අඩංගුට ගෙන ඇත්තේ හබරාදූව මීපේ ප්‍රදේශයේ පදිංචි 23 හා 25 හැවරිදි වියේ පසුවන සංචාරක මගපෙන්වන්නන් දෙදෙනෙකි. රුසියානු ජාතික යුවළ උණවටුන වෙරළ තීරයේ සිටියදී සැකකරුවන් දෙදෙනා මෙම යුවළගේ අත්බෑගය සොරකම් කරගෙන පලාගොස් තිබුණි. සි.සි.ටි. වි කැමරා වල සටහන්ව තිබූ දත්ත උපයෝගි කරගෙන මෙකී සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන තිබුණි.
සොරකම් කරනු ලැබු භාණ්ඩවලින් කොටසක් පොලිසිය මගින් සොයාගෙන ඇත. හබරාදූව සහ උණවටුන සංචාරක පොලිසිය එක්ව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිය.