IPL ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හදිසියේම දිවයිනට – චෙන්නායි පිළ බරපතල අර්බුදයකට යයි

ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට වීසා ලබාගැනීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීගය ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පසුගියදා නැවතත් මෙරටට පැමිණියහ.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී ‘චෙන්නායි සුපර් කිංග්ස්’ කණ්ඩායම නියෝජනය කළ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණත්, ‘කල්කටා නයිට් රයිඩර්ස්’ කණ්ඩායම නියෝජනය කරන දුශ්මන්ත චමීරත්, ‘මුම්බායි ඉන්දියන්ස්’ කණ්ඩායම නියෝජනය කරන නුවන් තුෂාරත් මෙරටට පැමිණ තිබේ.

මෙම ක්‍රීඩකයන් සම්බන්ධ වූ ලෝක කුසලානය සඳහා වීසා අයදුම්පත් සම්මුඛ පරීක්ෂණය ඊයේ (2 වැනිදා) කොළඹදී පවත්වා තිබෙන බවද වාර්තා විය. මෙම ක්‍රීඩකයන් නැවතත් ඉන්දීය ප්‍රිමියර් ලීගය හා සම්බන්ධ වන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශ වී නොමැති අතර බොහෝවිට අද (2 වැනිදා) රාත්‍රී පැවැත්වෙන ‘කල්කටා – මුම්බායි’ තරගය දුශ්මන්ත සහ නුවන් තුෂාරට අහිමි වනු ඇත.

යම් හෙයකින් අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන චෙන්නායි පංජාබ් තරගය සඳහා සහභාගී වීමට මතීෂට අවස්ථාව අහිමි වූවහොත් එය චෙන්නායි කණ්ඩායමට විශාල අඩුවක් වනු ඇත. චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් වන තුෂාර් දේශ්පාණ්ඩේට උණ රෝගය සෑදී තිබීම, දීපක් චහර් ආබාධයකට ලක්ව තිබීම සහ මුස්ටෆිසුර් රහ්මාන් නැවතත් බංග්ලාදේශය බලා පිටත්ව ගොස් තිබීම හේතුවෙන් මතීෂ සහ මහීෂ් මීළඟ තරගයට සහභාගී වීමට නොහැකි වූවහොත් චෙන්නායි කණ්ඩායමේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු පවා මඟ හැරීමට ඉඩක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *