ශ්‍රී ලංකා පොලිසියේ අසූපන්දහසකින් පොලිස් කොට්ඨාසවල ක්‍රියාකාරී සේවයේ යෙදී සිටින්නේ පනස්හතර දහසක් පමණ බව පොලිස් ඉතිහාසයේ පළමුවරට කළ මානව සම්පත් විගණනයකින් හෙළි වී ඇත.
වසර එකසිය පනස්හතක පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් දෙපාර්තමේන්තුවේ මානව සම්පත පාලනය කළ යුතු ආකාරය සම්බන්ධව වන මානව සම්පත සම්බන්ධ විගණනය මගින් සකස් කළ අතුරු වාර්තාවෙන් මේ බව හෙළි වී තිබේ.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යටතේ පොලිසියේ මානව සම්පත් විගණනය ආරම්භ කර ඇත.
පසුගිය 03 වැනිදා මෙම කමිටුව දුන් අතුරු වාර්තාවට අනුව පොලිසියේ 85,000 ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් 8,000 ක් සහ සහායක සේවා නිලධාරින් 1250 ක් මෙම මානව සම්පත් විගණනයට ඇතුළත් කර ඇත.
මෙයින් තිස්එක්දහසක්ම ජනාධිපති ආරක්ෂක, අගමැති ආරක්ෂක, ඇමැති ආරක්ෂක, නිල සුනඛ කොට්ඨාස, රථවාහන මූලස්ථානය හා ක්‍රීඩා කොට්ඨාසය ඇතුළු ක්‍රියාකාරී කොට්ඨාස අසූවක සිටින බව අනාවරණ වී තිබේ.
පොලිස් කොට්ඨාස මට්ටමින් කාර්යාල රාජකාරිවල යෙදී සිටින පිරිස් කාර්යාලවලින් පිටතට ගෙන සියයට හැටක් මහජනයා අතරට යොදවා මැයි 01 වැනිදා සිට රටේ සිදුවන බල අපරාධ නැවැත්වීමට පියවර ගන්නැයි පොලිස්පතිවරයා මාස තුනක් කල් දුන්නේය.ඒ අනුව ජ්‍යෙෂ්ඨ අධිකාරිවරුන් විසින් මෙම මානව සම්පත් පාලනය කරමින් අපරාධ පාලනය සඳහා එම පිරිස් යෙදවීමට පටන්ගෙන ඇත.