මානව ඉමියුනොග්ලොබියුලින් ජාවාරම වැනි ජාවාරම්වලදී ලියාපදිංචි නොකළ ආනයනකරුවන් හරහා ශ්‍රී ලංකාවට ඇතුළු වන ප්‍රමිතියෙන් තොර භයානක ඖෂධ පිළිබඳ මතභේදාත්මක ගැටලුවට මුහුණ දීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඉදිරියේදී ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට සූදානම් වේ.
සියලුම ඖෂධ ලියාපදිංචි සහතික සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය තිබෙන්නේ නීතිවිරෝධී ආනයනකරුවන් විසින් එම සහතිකය ව්‍යාජ ලෙස සකස් කිරීම වැළැක්වීම සඳහා බව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.
ලියාපදිංචි නොකළ ආනයනකරුවන් විසින් ඖෂධ ගෙන්වන බවට හෝ නීතිවිරෝධී වෙළෙන්දන් විසින් ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර ඇති ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට එල්ල වූ චෝදනාත් මේ පියපර ගැනීමට හේතු වූ බව සභාපතිවරයා වැඩිදුරටත් පවසයි .
“මෑතකදී සිදුවුන මානව ඉමියුනොග්ලොබියුලින් වංචාව සහ ප්‍රමිතියෙන් තොර අක්ෂි බෙහෙත් දියර ජාවාරම උසාවිය නඩු කටයුතු තෙක් ගිහින් තියනවා. එක්කෝ මේ ජාවාරම් කරුවන් ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයට සමාන ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස සකස් කිරීමට සමත් වෙලා තියනවා. නැතිනම් ඖෂධ නියාමන අධිකාරිය තුළ සිටින ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ලියාපදිංචි සහතික නිකුත් කරනවා,” විශේෂඥ වෛද්‍ය විජේවික්‍රම උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.
මෙය බරපතළ ප්‍රශ්නයක් වී ඇති බැවින් අනතුරුදායක හෝ ප්‍රමිතියෙන් තොර ඕනෑම ඖෂධයක් රට තුළට ඇතුළු වීම පාලනය කළ හැකිවන ආකාරයට සියලුම ඖෂධ ලියාපදිංචි සහතික සඳහා නව ආරක්ෂක ස්ටිකරය හඳුන්වා දීමට ඖෂධ නියාමන අධිකාරිය තීරණය කළ බවත් මෙම නව ආරක්ෂක විශේෂාංගය මාසයක පමණ කාලයකදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා පැවසීය.