2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත.
2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.9 (ඇමරිකානු ඩොලර් බිලියන 3.0) ලාභය හා සසඳන විට එය 71%ක වර්ධනයකි. සමූහයේ ආදායම ඩිරාම් බිලියන 137.3ක් (ඇමරිකානු ඩොලර් බිලියන 37.4ක්) වූ අතර එය 15%ක වර්ධනයක් නියෝජනය කරයි. සමූහයේ මුදල් ශේෂය ඩිරාම් බිලියන 47.1 (ඇමරිකානු ඩොලර් බිලියන 12.8)ක් වන අතර එය මෙතෙක් වාර්තා වූ ඉහළ ම අගයකි. පසුගිය වසරට වඩා එය 11% කින් වර්ධනය වී ඇත.
එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය: “එමිරේට්ස් සමූහය නැවත වරක් නව වාර්තාගත කාර්ය සාධනයක් ලබා දීමට සමත් වී ඇත. වසර පුරාවට ම ලෝකය පුරා ගුවන් ප්‍රවාහනය සහ සංචාරක කර්මාන්තය ආශ්රිත සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් දැකගත හැකි වූ අතර, පාරිභෝගිකයන්ට අවශ්‍ය දේ ඉක්මනින් ලබා දීමට හැකි වූ නිසා අපි විශිෂ්ඨ ප්‍රතිඵල අත්කර ගත්තෙමු. එමෙන් ම වසර ගණනාවක් පුරා අපගේ අඛණ්ඩ ආයෝජන වල ප්රතිලාභ අපි භුක්ති විඳින්නේ අපගේ නිෂ්පාදන සහ සේවාවන්, ශක්තිමත් හවුල්කාරීත්වයන් සහ අපගේ දක්ෂ පුද්ගලයින්ගේ හැකියාවන් හේතුවෙනි.”
ෂික් අහමඩ් මහතා තවදුරටත් මෙසේ පැවසීය: “වර්තමානයේ සමූහය තුළ පවතින විශිෂ්ට මූල්‍ය තත්ත්වය අනාගත වර්ධනය සහ සාර්ථකත්වය සඳහා අපව ශක්තිමත් ලෙස ස්ථානගත කරයි. එමඟින් අපගේ ගනුදෙනුකරුවන්ට සහ පාර්ශවකරුවන්ට වඩා හොඳ නිෂ්පාදන, සේවා සඳහා වැඩි වටිනාකමක් ලබා දීමට ආයෝජනයන් කිරීමේ හැකියාව ලබා දෙයි.”