ලෝක උරුමයක් වූ මහනුවර නගරයට පැමිණෙන ජනතාව දිනකට මුත්‍රා ලීටර් දෙලක්ෂ තිස්දහසක් (230,000) බැහැර කරන නමුත්, නගරයේ වැසිකිළවල ප්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති බව අනාවරණය වේ.
මහනුවර නගරයේ ජනගහනය 125,654 ක් වූවත්, දෛනිකව ලක්ෂ පහක ජනගහනයක් සිය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට නගරයට පැමිණෙති. ශ්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට සේම මහනුවර ශික්ෂණ රෝහල සහ රජයේ ආයතනවලට මෙලෙස විශාල පිරිසක් පැමිණෙති.
නගරයේ පදිංචි 125,654 ක ජනගහනය දිනකට පිට කරන මුත්‍රා ප්‍රමාණය ලීටර් 75,000 ක් බව නාගරික සෞඛ්‍ය අංශ විසින් ගණනය කර තිබේ.
කෙසේ නමුත්, නගරයට දිනකට පැමිණෙන අති විශාල ජනගහනය සඳහා ප්‍රමාණවත් පරිදි නගරය තුළ වැසිකිළි පහසුකම් නොමැති බව පැවසේ. මහනුවර මහ නගර සභාව සතු වැසිකිළි පද්ධති කොන්ත්‍රාත් පදනම මත පුද්ගලික අංශයට ලබාදී ඇතත්, ඒවා එම ආයතන විසින් නිසියාකාරව නඩත්තු නොකරන බවත්, ඇතැම් වැසිකිළිවලට ප්‍රමාණවත් පරිදි ජල පහසුකම් නොමැති නිසා ඒවා දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බවත් අනාවරණය වේ.
නගරය අවට මහයියාව ආදී ප්‍රදේශවල ජෛයිකා ආධාර යටතේ ඉදිකර තිබෙන ඇතැම් පොදු වැසිකිළි පද්ධති භාවිතා කිරීමට නොහැකි තරමට ජරාවාසවී ඇති බවත්, ඒවායෙහි අප ජලය ප්‍රධාන කාණු පද්ධතියට එකතුවී අවසානයේ ගලා බසින්නේ මහවැලි ගංගාවට බවත් පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.