ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක් දිනාදීම එකම සිහිනයයි – චමරි අතපත්තු රටටම කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් අතර පළමු ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ඇගයීම සඳහා ඇයගේ ක්‍රීඩා සමාජය වන හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සංවිධාන කළ ඇගයීම් උළෙලක් 15 වැනිදා කොළඹදී පැවැත්විණි. එහිදී චමරි ශ්‍රී ලංකා ක්‍රිකට් විශිෂ්ටයන් වන සනත් ජයසූරිය සහ අරවින්ද ද සිල්වා සමඟින් කෙටි සාකච්ඡාවක නිරත වූ අතර හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ සභාපති ගොඩ්ෆ්‍රි දාබරේරා සහ එම ක්‍රිකට් සමාජය සූදානම් කළ විශේෂ තිළිණයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් චමරි වෙත ප්‍රදානය කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, චමරි අතපත්තු කාන්තා ක්‍රිකට්හි තාරකාවිය බවත්, ඇයට තවත් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මෙන්ම එහි අනාගතය වෙනුවෙන් කටයුතු කරන ලෙසත් යෝජනා කළේය. එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවට ලෝක කුසාලානයක් දිනා දීම සිය එකම හීනය බව ප්‍රකාශ කළ චමරි වඩාත් වැදගත් වන්නේ තමන් දිනීමට වඩා රට දිනවීම බව ප්‍රකාශ කළාය.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් හඳුනාගත් නිමේෂා දිල්රුක්ෂි ක්‍රීඩිකාව සඳහා හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයෙන් අනුග්‍රාහකත්වයක් පිරිනැමීමටද මෙහිදී කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක සනත් ජයසූරිය, හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, ශ්‍රී ලංකා කාන්තා කැඳවුම්කරු අප්සාරි තිලකරත්න, හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *